Monday, August 12, 2019

යහපත් ටෙලි නාට්‍ය කලාවක් ගොඩනැගීම සඳහා




                                                      ඕනෑ ම පුරවැසියෙකුට මාධ්‍ය හැසිරවීමේ නිදහස තිබේ. එහෙත් වෘත්තීය වශයෙන් මාධ්‍ය හැසිරවීම පිළිබඳ සම්මුති පිළිගන්නා අයට පමණක් ඒ නිදහස ක‍්‍රියාත්මක කළ හැකි ය.’’ යන්න මාධ්‍ය හසුරුවන සෑම පුද්ගලයෙකු ම දන්නා කරුණකි.
                                                                              රූපවාහිනි මාධ්‍ය විවිධ වයස් කාණ්ඩවලට, ආගම්වලට හා ජන වර්ගවලට අයත් පේ‍්‍රක්ෂකයන්ගේ රාසාස්වාදය පිණිස යොමු වු ගෘහස්ථ ශ‍්‍රව්‍ය-දෘශ්‍ය මාධ්‍යයක් වන බැවින් ‘ටෙලි නාට්‍යකරුවා’ ඉහත කී පේ‍්‍රක්ෂක ව්‍යුහයේ විවිධත්වය පිළිබඳ නිරන්තර අධ්‍යනයෙන් ස්වකීය නිර්මාණ ඉදිරිපත් කිරීමේ වගකීම දැරිය යුතු ය.
                                                            නාට්‍ය කලාව මිනිසාගේ ජීවිතය අනුකරණය කරනු ලබන මානව කේන්ද්‍රීය කලාවක් බැවින් පොදුවේ ටෙලි නාට්‍යකරුවන් සෑම දෙනෙකු විසින් ම ‘මහජන අයිතිය’ පිළිගැනීම අවශ්‍ය වේ. නාට්‍ය සමාජීය සම්බන්ධතාවක් වන බැවින් පුරවැසි පෞද්ගලිකත්වය පිළිබඳ විශේෂ වගකීමක් ද ටෙලි නාට්‍යකරුවා සතු වෙයි. මෙහි දී ‘පොදු පරමාර්ථය’ යනු වඩා ඥානාන්විත පෞද්ගලික පරමාර්ථයක් ය’ යන්න  ටෙලි නාට්‍යකරුවා අර්ථ දක්වා ගත යුතු වෙයි. අන් කවර ජනමාධ්‍යයකටත් වඩා රූපවාහිනිය මිනිසාගේ දෛනික න්‍යාය පත‍්‍රය සකස් කිරීමට ඉවහල් වන බැවින් ජනතාවට හොඳ ම දේ සැපයීම ටෙලි නාට්‍යකරුවාගේ කාර්යභාරය බවට පත්විය යුතු ය.ටෙලි නාට්‍ය නිර්මාණකරුවාට ස්වයංවාරණයක් තිබිය යුතු වන්නා සේ ම, ආචාරධර්ම පද්ධතියක් අවශ්‍යතාව ද මෙහි දී පැන නගී.
                                                                                               ආචාරධර්ම මාලාවක ප‍්‍රයෝජන ගණනාවකි. වෘත්තිකයන් හැසිරිය යුතු ආකාරයත්, වෘත්තිකයන් හා නරඹන්නන් අතරත් පාලන බලධාරීන් අතරත් විශ්වාසය ගොඩනැගීම ද මෙහි අරමුණ වේ. විශේෂයෙන් තම ටෙලිනාට්‍ය නිර්මාණයෙහි ගුණාත්මක අගය වර්ධනය කර ගැනීම සඳහා ආචාරධර්ම ප‍්‍රයෝජනවත් වෙයි.
                                                                              පුරාණයේ දී බොහෝ පෙරදිග රටවල තිබුණේ නීති නොව සිරිත් ය. පෙර සිරිත්, කුල සිරිත්, හෙළ සිරිත්, ගම් සිරිත් ආදී වශයෙන් ගැමි ජනයා විසින් මෙම සිරිත් හැඳින්විණි. ජනමාධ්‍ය දියුණුවත් සමඟ මෙම සිරිත් අතික‍්‍රමණය කෙරෙන කලා විෂයයන් කරා ජනමාධ්‍යකරුවා මෙහෙයැවිණි. දැන් නැවතත් මෙම සිරිත් පිළිබඳ ආපසු හැරී බලන්නට, ස්වයං විවේචනයකට පත් වන්නට කාලය එළඹ ඇත. කාලන්තරයක් තිස්සේ ශ‍්‍රී ලංකාවේ රැුගුම් පාලක මණ්ඩලය යටතේ වූ චිත‍්‍රපට සමීක්ෂණ ක‍්‍රියාවලියේ දී නිෂ්පාදනය කළ චිත‍්‍රපට සම්බන්ධයෙන් පහත සඳහන් කාරණා පිළිබඳ විශේෂ අවධානය යොමු කෙරිණි. එමෙන් ම එම කරුණු මත සලකා චිත‍්‍රපටය ප‍්‍රදර්ශනයට පෙර නිර්දේශ නිකුත් කෙරිණි.

1.    පවුලේ සැමට නැරඹිය හැකි
2 .   වැඩිහිටියන්ට පමණයි.
3 .  වැඩිහිටියන්ට වඩාත් සුදුසුයි.
4.   තහනම් 

මෙසේ සලකා බැලූ කරුණු අතර, 

x    චිත‍්‍රපටය සම්මත පාලන තන්ත‍්‍රයට පටහැනි නොවිය යුතු වීම.
x    උපහාසයට හා අපහාසයට ලක්වන අන්දමේ එකක් නොවිය යුතු වීම.
x    අධිකරණයට අපහාසාත්මක වන කිසිම දර්ශනයක් හෝ වගන්තියක් නොතිබිය යුතු වීම.
x    අපරාධකරුවන් වීරයන් සේ හුවා දක්වන දර්ශන නොතිබිය යුතු වීම.
x    විවාහය, සම්මත නීති-රීති, චාරිත‍්‍ර-වාරිත‍්‍ර, ස්ත‍්‍රී පුරුෂ සම්බන්ධතාව උත්තරීතරභාවය සිනාවට ලක්වීමට කිසි ම ලෙසකින් ඉඩ නොතිබිය යුතු වීම.
x    ආගම්වාදය ඇවිස්සීමට හෝ එක ආගමකට වඩා අනෙක් ආගම හුවා දක්වා කිසිම දර්ශනයක් නොතිබිය යුතු වීම.
x    මිනීමැරුම්, හොරකම් සඳහා යොදනු ලබන උපක‍්‍රම, බෝම්බ, යුද්ධායුධ පාවිච්චිය පිළිබඳ උපක‍්‍රම පෙන්වන අයුරින් ඇති දර්ශනවලට ඉඩ නොතිබිය යුතු වීම.
x    පුජ්‍ය පක්ෂය හා ශාසනය විවේචනයට ලක්වන කිසිම දර්ශනයකට ඉඩ නොතිබිය යුතු වීම.
x    මරණ දණ්ඩණය ක‍්‍රියාත්මක කිරීම වැනි දේවල් මහජනයාට දකින්නට නොතිබිය යුතු වීම.
x    නවීනත්වය, ස්ත‍්‍රී පුරුෂ සංසර්ගය, ජීවිතයේ වෙනත් රහස් අවස්ථා තිරයේ ප්‍රෙක්ෂකයාට පෙන්වන දර්ශනවලට ඉඩ නොතැබිය යුතු වීම.
x    සිපගැනීම් පිළිබඳ දර්ශන අධික නොවිය යුතු වීම.
ඇතුළු කරුණු සලකා බැලීම සිදු විය.

                                          ටෙලි නාට්‍ය, චිත‍්‍රපයට වඩා ජනතාවගේ එදිනෙදා පොදු ජීවිතයට ළංවුණ කලාවක් වී නමුදු, ටෙලි නාට්‍ය කර්මාන්තයේ ඇති සංකීර්ණ බව හා ප‍්‍රමාණාත්මක වැඩි බව මත චිත‍්‍රපටය මෙන් සමීක්ෂණය කිරීමේ පහසුවක් නොතිබුණි. ටෙලි නාට්‍ය ඇරඹි මුල් යුගයේ දී ජාතික රූපවාහිනිය විසින් ස්වයංව පනවා ගත් නීති-රීති මාලවක් මූලික ප‍්‍රතිපත්ති හා ක‍්‍රියා පටිපාටියක් අනුව පිටපත් කියවීම, ටෙලි නාට්‍ය විකාශයට පෙර නැරඹීම යන අවස්ථාවල දී කිසියම් ප‍්‍රමිතියක් සාදා ගනු ලැබ තිබුණි. කල් යත්ම නාලිකා බහුල වීමත්, ටෙලිනාට්‍ය විකාශ කාල බහුල වීමත්, කර්මාන්තයක් ලෙස පුළුල් වීමත් යන කාරණා මත මෙම සීමාවන්, ප‍්‍රමිතීන් අද වන විට ටෙලි නාට්‍යකරුවා ම නොසලකා හරින තත්ත්වයකට පත්ව තිබේ.
                                                                                                          මීට අමතරව ශ‍්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව මඟින් විකාශය කිරීම උදෙසා වු ටෙලි නාට්‍ය තෝරා ගැනීම 1982 අංක 06 දරණ ශ‍්‍රී ලංකා රූපවාහිනී සංස්ථා පණතේ 11 වන කොටසේ 07 ෙඡ්දයේ 01 උප වගන්තිය (ඇ* යටතේ වු පහත දැක්වෙන උද්ධෘතයේ නියමයන්ට මුලික වශයෙන් යටත් විය යුතු ය.

(අ. මනා රසවින්දනයට නැතහොත් ශිෂ්ඨත්වයට හානිකර හෝ අපරාධ කිරීමට පොළඹවන හෝ කැලඹීමට තුඩු දෙන හෝ යම් වාර්ගීක හෝ මහජන හැඟීම්වලට හානි කළ හැකි කිසිවක් වැඩසටහනට ඇතුලත් නොකරන බව.

(ආ. වැඩසටහන්වලට ඇතුලත් කරනු ලබන කවර වූ හෝ ආකාරයේ යම් ප‍්‍රවෘත්ති නිසි පරිදි නිවැරදිව
හා අපක්ෂපාතිව හා මහජන යහපත පිළිබඳ නිසි සැලකිල්ලෙන් යුතුව ඉදිරිපත් කරනු ලබන බව.



ටෙලි නාට්‍යයේ සීමා: 

1.   ටෙලි නාට්‍ය ශ‍්‍රී ලංකා ප‍්‍රජාතාන්ත‍්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට රටේ බලපවත්නා නීති හ රෙගුලාසිවලට අනුකූල විය යුතු වීම.
2.   ජනවාර්ගික යහපැවැත්මට හා රටේ සංස්කෘතික බහුවිධතාවට හානිකර ආකාරයේ ඒවා නොවිය යුතු වීම.
3.    ත‍්‍රස්තවාදය, මිනිමැරුම්, අපරාධ, ස්ත‍්‍රීත්වය අවමානයට ලක් කිරීම, බාලාපචාරයන්ට මං පාදන හෝ වක‍්‍ර ආකාරයකින් හෝ අනුබල දෙන දර්ශන ඇතුලත් නොවිය යුතු වීම. සියදිවි නසාගැනීම් ආදියට අනුබල දෙන හා එම උපක‍්‍රම හුවා දක්වන දර්ශන ඇතුලත් නොවීම.
4.    ළමා පෞරුෂය, කුසලතා වර්ධනය කෙරෙන ටෙලි නාට්‍ය නිර්මාණ බලාපොරොත්තු වන අතර, ළමා මනසට අහිතකර ලෙස බලපෑ හැකි දර්ශන මෙන් ම අහිතකර දෙයට පොළඹවන දර්ශන හා ව්‍යවහාර ඇතුලත් නොවිය යුතු ය.
5.   සුරාපානය, මත්ද්‍රව්‍ය භාවිතය, දුම්පානය ආදියට අනුබල දෙන දර්ශන, අවස්ථා හෝ ප‍්‍රකාශවලින් වැලකීම මෙන් ම සුරාපානය, දුම්පානය වැනි ක‍්‍රියාවන් වීරත්වය හෝ තාරුණ්‍ය පිළිඹිමු කරන ක‍්‍රියා ලෙස දැක්වීමෙන් වැලකී සිටිය යුතු ය.
6.    ලිංගිකත්වය හා ලිංගික සබදතා සාකච්ඡුාවට භාජනය කිරීමේ දී ශිෂ්ඨත්වය පිළිබඳ සීමාවන් උල්ලංඝනය නොකිරීම.
7.    දෙමාපියන්ට, වැඩිහිටියන්ට ගරු කිරීම, විනයානුකූලව හැසිරීම වැනි සමාජ සාරධර්ම ආරක්ෂා විය යුතු වීම. එම සමාජ සාරධර්මයන්ට අනුබල දීම.
8.    ශාරීරික, මානසික දුබලතාවලින් පෙළෙන්නන් හාස්‍යයට හා චිත්ත පීඩාවට පත්කරන දර්ශන ඇතුලත් නොකිරීම.
9.  ප්‍රෙක්ෂකයා කම්පනයට පත්කරවන මානව හා සත්ත්ව පීඩා, ලේ ගැලීම්, කෲරත්වය, හිංසනය හුවා දක්වන දර්ශන අඩංඟු නොවිය යුතු වීම.
10.    යම් කිසි ආගමක්, පුජ්‍ය පක්ෂයක්, උපහාසයට, අවමානයට ලක් නොකිරීමට වගබලා ගත යුතු වීම. මත භේදයට තුඩු දෙන අවස්ථා වෙතොත් ආගමික මණ්ඩල නිර්දේශ ලබා ගත යුතු වීම.
11.    අවස්ථා හා චරිතවලට යෝග්‍ය පරිදි උප භාෂා භාවිතා කළ හැකි වුව ද, අසත්‍ය අශිෂ්ට භාෂා ව්‍යවහාරයෙන් වැලකීම.
12.    පරිසරය සුරැුකීම, පරිසර සංරක්ෂණය, වන ජීවීන් රැුකගැනීම කෙරෙහි අවධානය යොමු කිරීම පරිසර ¥ෂණයට, විනාශයට අනුබල දෙන දර්ශන අඩංගු නොකිරීම.
13.    නරඹන්නා තුළ අනිසි බිය, අනිසි සංත‍්‍රාසය උපදවන හෝ හිංසනයට අනුබල දෙන දර්ශන අඩංගු නොකිරීම.
14.    රට තුළ සහ විදේශ රටවල් සමඟ පවත්නා මිත‍්‍රත‍්‍රත්ව සබදතාවලට හානිකර දර්ශන අඩංගු නොකිරීම.
15.    මුදල් ඉපයීමේ පරමාර්ථය පමණක් පෙරදැරි නොකොට ප්‍රෙක්ෂකයා ආනන්දයෙන් ප‍්‍රඥාව කරා ගෙන යාම මුඛ්‍ය අපේක්ෂාව ලෙස සැලකිය යුතු වීම.

ටෙලිනාට්‍ය රචනයක් ඇඟයීමේ දී සැලකිල්ලට භාජනය කෙරෙන මූලික කරුණු: 

1 .   කලාත්මක වින්දනයක් ලැබිය හැකි නිර්මාණයක් බවට නිෂ්පාදනය කිරීමට ඇති හැකියාව
2 .   පිටපත තුළින් මතුවන සංකල්පයේ ඇති නැවුම් බව සහ අපූර්ත්වය
3 .   නිර්මාණයේ අන්තර්ගතය තුළින් මතු වන්නා වූ කාලීන වැදගත්කම
4 .   පිටපත තුළින් ප‍්‍රකාශ වන චරිත මිනිස් දහමෙහි ගැඹුරු විවරණයක් වීම.
5 .   පිටපත තුළින් බිහිවිය හැකි නිර්මාණය පේ‍්‍රක්ෂකයාගේ බුද්ධි වර්ධනයට කොතරම් දුරට ඉවහල් විය හැකි ද යන්න උදා - සමාජීය, අධ්‍යාපනික, ඓතිහාසික, දේශපාලනික
6  .  විවිධ ප්‍රෙක්ෂක ජනකොටස්වලට ආගමික, සමාජීය, සංස්කෘතික, දේශපාලනමය හා සදාචාරාත්මක ආදි වශයෙන් ඇති කළ හැකි බලපෑම.
7 .  පිටපතේ අන්තර්ගතය විවිධ වයස් කාණ්ඩයන්ගෙන් යුතු පේ‍්‍රක්ෂකයන් කෙරෙහි සිදු කළ හැකි බලපෑම. 
8 . ස්වතන්ත‍්‍ර, දේශීය හෝ විදේශිය ශිෂ්ඨ සාහිත්‍ය කෘති ඇසුරින් රචිත පිටපතක් ද යන්න.

                                  ටෙලිනාට්‍ය පිටපත් රචකයා තම නාට්‍යයෙන් ප‍්‍රක්ෂේපණය කිරීමට බලාපොරොත්තු වන අරමුණ කුමක් ද? යන්න පිටපතෙහි ධ්වනිත විය යුතු වෙයි. තමන් ඉලක්ක කර ගන්නා පේ‍්‍රක්ෂක පිරිස පිළිබඳ අවබෝධයක් රචකයා තුළ තිබිය යුතු වේ. එමෙන් ම හරවත් පණිවිඩයක් ද පේ‍්‍රක්ෂකයන්ට ඉදිරිපත් විය යුතු වන අතර රූපවාහිනී ශ‍්‍රව්‍ය-දෘශ්‍ය මාධ්‍යයට ගැලපෙන කථා සංකල්පයක් ගොඩනැගිය යුතු ය. සංස්කෘතිකමය, සදාචාරාත්මක වගකීම, රටේ නීතිය සහ සම්මතයන්ට එකඟ වීම, මෙන්ම කිසියම් ආගමකට, පුද්ගලයෙකුට, පුජ්‍ය පක්ෂයට හානිකර අයුරින් චරිත නිරූපණය නොකළ යුතු ය. ග‍්‍රාම්‍ය, පහත් බස්වහර යොදා ගැනීමෙන් වැලකිය යුතු ය. ළමා මනසට අහිතකර බලපෑම් කරනු ලබන සිදුවීම් බැහැර කළ යුතු ය. පේ‍්‍රක්ෂකයන් අතර අනවශ්‍ය මතභේද, බිය සැක, කලබලකාරී අවස්ථා ජනනය කරන සිදුවීම් පිටපත්වලට ඇතුළත් කිරීමෙන් වැලකිය යුතු ය.
                                                 රූපවාහිනි ටෙලිනාට්‍ය නිර්මාණකරුවාට මෙවැනි සීමාවන් හඳුන්වා දීම තුළින් රූපවාහිනී පේ‍්‍රක්ෂකයන්ට සංකීර්ණ වු හෝ සරල වූ හෝ ආස්වාදයක් ලබා දීමට සමත් විවිධ මට්ටම්වල කලාත්මක නිෂ්පාදන බිහි කිරීමට අනුබල දෙන අතර ම, බහුතර ප්‍රෙක්ෂකයාට ඇති සමාජ වගකීම ඉටු කිරීමට අවශ්‍ය පසුබිම සකස් කර දීමට ආධාර වන්නා වූ නිර්ණායක ලෙස ද සැලකේ.
                                                                                                     කලාකරුවාගේ නිදහසට හෝ නිර්මාණාත්මක ක‍්‍රියාකාරීත්වයට අනර්ථකාරී ලෙස බලපාන්නා වූ සීමා පැනවීමට හෝ ටෙලිනාට්‍යවල විෂයය තීරණය කිරීමට හෝ මෙම සීමාවන් අදාල නොවේ. එහෙත් යහපත් ටෙලිනාට්‍ය කලාවක් අනාගතයේ දී ගොඩනැගීම සඳහා මෙම කරුණු පිටුවහලක් වනු නොඅනුමාන ය.

 විමලරත්න අධිකාරී
     

No comments:

Post a Comment