Friday, June 7, 2019
දැව කැටයම්
ඓතිහාසික හා පුරාවිද්‍යාත්මක සාධක හමුවේ ශ‍්‍රී ලංකාව තුල කලා නිර්මාණ ව්‍යාප්තිය සිදු වීම මහින්දාගමනයෙන් පසුව බව විශ්වාසයි. එහිදී චිත‍්‍ර කලාව මුර්ති කලාව කැටයම් කලාව ආදිය වශයෙන් කලා නිර්මාණ බිහි වුණී.මේ අතරින් කැපී පෙනෙන කලවක් ලෙස දැව කැටයම් කලාව පේනවා දිය හැකිය. කිසියම් ඝන ද්‍රව්‍යක කුඩා කොටස් ඉවත් කිරීමෙන් එක්තරා රුපාකරයකට හැඩ ගැස්වීම ”කැටයම් කිරීම” යනුවෙන් හැදින්වේ. මෙම ඝන ද්‍රව්‍ය ගල් නම් එම ශිල්පය ”ගල් කැටයම්” යනුවෙන්ද, ඝන ද්‍රව්‍ය ඇත දත් වූ විට ශිල්පය ”ඇත් දත් කැටයම්” යනුවෙන්ද, ඝන ද්‍රව්‍ය දැව වූ විට ශිල්පය දැව කැටයම් වශයෙන්ද හදුන්වනු ලැබේ. කැටයම් කිරීමෙන් කිසියම් සැරසිල්ලක් කිරීම හෝ කලාත්ම අදහසක් පිළිබිඹු කිරීම හෝ කරනු ලැබේ.
කැටයම් කිරීමේ කලාව එතරම් පහසුකර ශිල්පයක් නොවේ. එයට ප‍්‍රධාන හේතුව වනුයේ වරක් වැරදුන හෝ අනවශ්‍ය ආකාරයට කැටයම් වුනු දෙයක් නැවත සකස් කල නොහැකි වීමයි. පලූද්දක් හෝ වැරදුන ස්ථානයක් වසා සකස් කිරීම, සන්ධි කිරීම ආදිය කැටයමේ අගය අඩු කරන හෙතුන්ය. බොහෝ විට හුදු රසාස්වාදය සදහා අදහස් ප‍්‍රකාශ කරන කැටයම් ගෙවල මෙන්ම පොදු ස්ථාන වලද ප‍්‍රදර්ශනය කෙරේ.තවද ආගමික පුජනිය ස්ථානවල ආගමික සිද්ධීන් පිළිබිඹු කිරීමට ද ලී කැටයම් යොදා ගනු ලැබේ. බිත්ති, උළුවහු, දොරවල්,ගෘහභාණ්ඩ ආදිය සිත් ගන්නා සුළු පෙනුමකින් සරසා තැබීමටද දැව කැටයම් උපයෝගී කර ගනී. බර අඩුකම, කැඩි බිදී කිලිටි වී යාම අඩුකම නිසා දව කැටයම් භාණ්ඩ පහසුකම් රාශියක් සපයයි.ශ‍්‍රී ලංකේය ඓතිහාසික ගෘහ නිර්මාණ ශිල්පයේ දැව උපයෝගිත්වයෙන් නිර්මාණය ලද නිර්මාණයෝ බොහෝ වෙති. රාජකීය හා පුජනිය ගොඩනැගිලි ඉදි කිරීම සදහා ශිල්පීහු දැව උපයෝගී කර ගැනීම ඈත අතීතයේ සිටම දක්නට ලැබේ.අප රටෙහි පමණක් නොව අනෙක් සෑම රටකම පාහේ දැව කැටයම් කලාවේ ඉතිහාසය බොහෝ දුරාතිතයේ සිටම අධ්‍යනය කිරීමට තරම් ජීවමාන සාක්ෂි ඉතිරි වී නොමැත.ඊට හේතුව ඉතා පුරාණයේ දැව කැටයම් කලාව නොතිබීම නොව දැව ඉතා ඉකමනින් ක්ෂය වන ද්‍රව්‍යක් නිසාවෙනි.
ලංකාවේ සාම්ප‍්‍රදායික ඓතිහාසික යුග බෙදීමකට අනුව අනුරාධපුරය, පොලොන්නරුව යුගවලින් පසුව පැමිණෙන දඹදෙණිය, කුරුණෑගල,ගම්පොල යුගවල දියුණු දව කැටයම් කලාවක ශේෂ වර්තමානය දක්වාම පවතී. සිවුවන බුවනෙකබාහු රජු සමයේ ඉදිකරන ලදැයි සැලකෙන උඩුනුවර ගඩලාදෙණිය විහාරය, ලංකාතිලක විහාරය, ඇම්බැක්ක අම්බලම ආදී ස්ථාන මධ්‍යකාලීන යුගය වන විට පවා බොහෝ ගොඩනැගිලි හා ඉදිකිරීම් අලංකරණ දැවයෙන් කර ඇති බව නිදසුන් සහිතව පෙන්වා දිය හැක. මහනුවර මගුල් මඩුව, දළදා මාලිගය හා සතර දේවාලය, පාදෙණිය විහාරය හා සමකාලින යුගයේ ඉදි කරන ලද වලව්,විහාර,දේවාල,අම්බලම් මේ සදහා උදාහරණ වේ.
මේ දක්වා ශේෂව පවතින පැරණිතම ලී කැටයම් දක්නට ලැබෙන්නේ උඩුනුවර උඩ අළුදෙණිය විහාරයෙහි උලූවස්සෙහිය.සදුන් දැවයෙන් කරන ලදැයි සැලකෙන මෙම උලූවස්සෙහි ලියවැල්, ගස්ලක්ෂ්මි රූප, පලාපෙති, පුර්නඝට, හංසරූප ආදී කැටයම් කර ඇත.මෙහි විද්‍යමාන මිථුන රූප යුගලයෙහි එන ස්ත‍්‍රී පුරුෂයෝ විසිතුරු ලෙස හැද පලාගෙන සිටිති.කතුන්ගේ පුන් පියයුරු කැපී පෙනෙන ලෙස නිර්මාණය කර ඇත.ගැහැණු පිරිමි දෙපක්ෂයම කුණ්ඩලාභරණ පැලද සිටිති.එක් කාන්තාවක් සංගීත භාණ්ඩයක් අතින් දරාගෙන සිටින අතර තවත් කතක් විජිනපතක් අතින් දරාගෙන සිටින බව පල කරයි.
උලූවස්සෙහි කැටයම් කර ඇති මල්, ලිය වැල් හා සත්ව රූප බෙහෙවින් කලාත්මකය. අළුදෙණිය විහාරයෙහි කැටයම් සිංහල දැව කැටයම් කලාවේ අනගිතම නිදර්ශනය ලෙස සැලකිය හැක. එසේම මීට පසු කාලයට අයත් සේ පෙනී යන දැවයෙන් කරන ලද උළුවහු ගණනාවක දැව කැටයම් දක්නට ලැබේ. එනම් පාදෙණිය, දෙවනගල,වට්ටාරම, පින්නවල, ලෙවුකේ, කඩිගමුව, මැදවල යන විහාරයන්හි කැටයමින් අලංකෘත දැව කැටයම් දක්නට ලැබේ. කැලණි විහාරයේද ලී උළුවස්ස කැටයම්වලින් පිරිපුන් වේ. මීට අමතරව අරණායක, දිප්පිටිය හා ඇම්බැක්කේ දේවාලයෙහි ද කැටයම් සහිත ලී උළුවහු දක්නට ලැබේ. සෑම උලූවස්සකම අරිම්බු, කුන්දිරික්කන්, පලාපෙති, ලියවැල් සහ කතිරිමල් ආදී කැටයමින් යුක්තය. ඒ හැරුණු විට දේව රූප, ස්ත‍්‍රී පුරුෂ රූප, සත්ත්ව රූප, මිත්‍යා සත්වයින්ගේ රූප සහ පංචනාරිඝටය වැනි කැටයම්ද මේ උළුවහු ගණනාවක විද්‍යමාන වේ. දිප්පිටිය විහාරයෙහි උලූවස්සෙහි ඉහල හරස්කදෙහි මැදට වන්නට පංචනාරිඝටයෙන් සැරසුණු පුන්කලසකි. උළුවහු කදන්වල පහතටම වන්නට දෙපසයෙහි අංකුෂ ගත් ඇත් දරුවෝ දෙදෙනෙකි. එසේම මැදවල ටැම්පිට විහාරයේ උළුවහු කණුවල කෙළවරෙහි ඇති කොටුවල සිංහ රූප දෙකකි. කැලණිය රජමහ විහාරයෙහි උළුවහු දෙකම කුන්දිරික්කන්, ලියවැල් හා රටාගත මල්වලින් සරසා ඇති අතර පාමුල වන්නට ඇති කොටුවල සිංහ රූප 4ක් දක්නට ලැබේ. කුරුණෑගල දිස්ත‍්‍රික්කයට අයත් බිංගිරිය දේවගිරි රජමහ විහාරස්ථානයේ ඉහල මහලේ ප‍්‍රදක්ෂිණා පථය වටා පිහිටි දැව කණුද කැටයමින් අලංකෘතය. මේ දැව කණු විස්සෙහි විද්‍යමාන කැටයම් අතර සිංහ, ගව,මුව හා මල්, බෝ කොළ, මෝස්තර හා නාගද අශ්වරෝහකයෙකුගේ රුවක්ද වේ. මෙම දැව කැටයම් විහාරස්ථානයට විශේෂ වැදගත්කමක් ලබා දීමෙහිලා හේතු වී ඇති බව පෙනේ.කුරුණෑගල දිස්ත‍්‍රික්කයේ දඹදෙණිය ආසනයෙහි පිහිටි සිරිගල ශෛලතලාරාම පුරන විහාරස්ථානය දැව කැටයම් සම්බන්ධයෙන් වැදගත්කමක් උසුලන තවත් පෞරාණික සිද්ධස්ථානයකි.මෙහි පිළිමයක් මැදි වන ආකාරයට ගෙයි වහල දර සිටින ලී කුළුණුවල පේකඩ නෙලූම් මල් මොස්තරයන්ගෙන් අලංකෘතය. දැව කුළුණුවල කුන්දිරික්කන්, ලණුගැටය, නලාකරුවන්, වෙඩිකරුවන්, හස්තීන් හා අශ්වයන් කැටයම් කර ඇත.
ගම්පොල යුගයේ දැව කැටයම් අන් දැව කැටයම් පරදා වැජඹෙන බවක් ඇම්බැක්කේ දේවාලයට යන්නුන්ට හැගෙනු නියතය. මෙම දේවාලයේ ‘ගම්මාලූ‘ නම් දැවයෙන් කර ඇති කණු විවිධාකාර කැටයම්වලින් අලංකාර කර තිබේ. මෙම දේවාලයේ කැටයම් ශිල්පියා ලෙස සැලකෙන ‘දෙල්මඩමුලචාරීන්‘ විසින් නිමවන ලද කැටයම් නිසා මෙම දේවාලයේ කිර්තිය පැතිර ගියා පමණක් නොව එවකට වූ ජන සමාජය හා කලාවේ ඌරුව ඈමත් ඉතිරි විය. දිග්ගෙහි පමණක් කණුවල හා අනෙකුත් බාල්ක තලාද ආදියෙහි ඇති මුළු කැටයම් ගණන 514ක් බව සඳහන් වේ.දේවාලයෙහි සියලූම නිර්මාණ සඳහා ගම්මාලූ, බුරුත, නා,හල්විල්ල යන ලිහිල් බර අඩු එහෙත් තදින් යුක්ත දැව, කැටයම් සඳහා යොදා ගනී. නිදසුන් ලෙස දරුවාට කිරි පොවන මවගේ රූපයෙන් සාමාන්‍ය ජන සමාජය නිරූපිතය. එසේම අශ්වාරෝහකයා වැනි කැටයමි එවකට එම සමාජයේ පැතිර තිබු පෘතුගීසීන් පිලිබඳ අදහස පිළිබිඹු කෙරෙනවා විය හැක. ඇම්බැක්කේ දේවාලයේ එක එක දැව කැටයම් සඳහා ගොතන කතාවක් පවතී. ගල් බින්දුව, ලණු දඟරය, කුන්දිරික්කන් මෝස්තරය, අරිබ්බුව, නාරිලතා මල, නයි ගැටය,බෝපත් රටාව ආදී ජ්‍යාමිතික රටාවන් තුලින් කැටයම් අලංකරණය කිරීමද ඉතා වැදගත් වේ. ප‍්‍රධාන කැටයම් වටා ඇති කුඩා රාමුව අලංකාර කිරීම සඳහා මෙම මෝස්තර යොදා ගත් බව මෙම දේවාලයේ කැටයම් තුලින් පැහැදිලි වේ.
ගම්පොල යුගයේ හා මහනුවර යුගයේ ලී කැටයම් කලාව ප‍්‍රධාන කොටස් තුනක් යටතේ හඳුනා ගත හැක. එනම්
1.ගෘහ නිර්මාණ ආශ‍්‍රිතව
2.කැටයම් ලෙස
3 තනි ලෙසට
වශයෙනි.මහනුවර යුගයේ දැව කැටයම් කලාවේ කලාත්මක බව, උත්කෘෂ්ට බව, නිර්මාණාත්මක බව හා උසස් ශිල්පීය තාක්ෂණය මානව පිළිබිඹු වේ. මහනුවර රාජධානියේ ගොඩනැගිලිවලද දොර උළුවහු ද අලංකාර කැටයමින් යුක්ත වේ. මෙම යුගයේ දැව කැටයම් සඳහා පාදක වූ බොහෝ මෝස්තර රටා ගණනාවක් දැක ගත හැක.මේ පිලිබඳ අධ්‍යනය කල බොහෝ විද්වතුන් පුරා විද්‍යාඥයන් ප‍්‍රකාශ කරන්නේ විවිධ මාතෘකා පාදක කර ගනිමින් මෙම කැටයම් නිර්මාණය වූ බවයි. ප‍්‍රධාන වශයෙන් මල් ලියකම්, ලියවැල් මෝස්තර, ස්ත‍්‍රී පුරුෂ සත්ත්ව රූප, මනඃකල්පිත සත්ව රූප, ස්වාභාවික වස්තූන්, ජ්‍යාමිතික රටා, සමකාලීන සිදුවීම් ආදී රටාවන් පදනම් කරගෙන නිර්මාණ බිහි වූ බව දැනට ශේෂව පවතින පුරා විද්‍යාත්මක නටබුන් තුලින් පැහැදිලි වේ. සමකාලීන සිදුවීම් මෙන්ම අතීත සිදුවීම්ද නිරුපණයට කැටයම්කරුවා දක්ෂ වී ඇති බව කැටයම් මගින් පැහැදිලි වේ. පොදුවේ කැටයමට ගනු ලබන්නේ සිංහල සැරසිලි මෝස්තරයන් ය. ඊට අමතරව ඒ ඒ ස්ථානයට ගැලපෙන සිද්ධි හා සමාජයේ ලක්ෂණද කැටයමට නිතැතින්ම එකතු වේ. දව ක්ෂය වීමේ ද්‍රව්‍යක් වුවද මහනුවර යුගයේ දැවමය පුර වස්තුන් බොහෝ වෙති.සරල ආයුධ භාවිත කරමින් වර්තමානය දක්වා නොනැසී පවතින ලෙස වටිනා දව භාවිත කරමින් මහනුවර යුගයේ කැටයම් ශිල්පියා තම නිර්මාණ කර ඇත.මේ සඳහා විවිධ ශිල්ප ක‍්‍රම යොදා ගන්නා අතර අලංකාරය සඳහා විවිධ මෝස්තරයේ කැටයම් ද යොදා ගන්න ලදී. වර්තමානය දක්වා නොනැසී පවතින ලෙස කර ඇති දැව කැටයම් කලාවෙන් උඩරට දැව කැටයම් ඉදිරියෙන්ම ඇත.
මෙරට පැරණි නිවෙස් වල තවමත් දක්නට ලැබෙන දරුමය පෙට්ටගම්ද කැටයමින් විසිතුරු කොට ඇති ආකාරය දක්නට ලැබේ.ගැමි ගෙවල භාවිත කල දැව උපකරණ පවා කැටයම් කර ඇත.කවාකාර හෝ හතරැුස් ලී කැබැල්ලකට තව ලී කැබලි දෙකක් සවි කර ගැනීමෙන් තනා ගන්නා ලද ගැමි ගෙවල හිද ගැනීම සඳහා භාවිත කරන කොලොම්බුව යනුවෙන් හැඳින්වුණු මිටි අසුන් විශේෂයද ද කැටයම් කොට ඇත. ගැමි නිවෙස්වල මුළුතැන්ගෙයි භාවිතා වූ දැවමුවා හැදිආන ද කැටයමින් හෙබියේය. රසකැවිලි තනන උපකරණයක් වන පොල්කටුවෙන් නිමවන ලද සීනීපිට්ටු කටුවේ ඇතුළු පැත්තේ නෙලූම් පෙති,පලාපෙති,අරිම්බු හා කතිරමල් වැනි කැටයම් වෙයි. එසේම පැන්තාලියෙන් පන් ගැනීම සඳහා භාවිත කෙරුණු කෙණිස්ස නම් වූ උපකරණයේ පොල්කටුව සම්බන්ධ ලී මිටෙහිද මකර රූ ආදී කැටයම් දක්නට ලැබේ.
පර්යේෂකයන්ගේ අවධානයට හසු නොවූ කැටයම් සහිත කණු,පේකඩ හා උළුවහු ගණනාවක් විහාර, දේවාල ආදී ස්ථානයන්හි තවමත් සුරක්ෂිතව ඇති බව මේ විමසුමෙහි දී හෙළි වූ තවත් කරුණකි.ශ‍්‍රී ලංකේය ජනයා එදිනෙදා ජීවිතයේ පරිහරණය කෙරෙන කුදුමහත් හැම භාණ්ඩයක් හා උපකරණයක්ම පාහේ කැටයමින් සැරසීමට පෙළඹීමෙන් කලාකරුවන්ගේ කලාරසිකත්වය අනාවරණය වේ.ජනකලා ගණයට අයත් කළ හැකි මෙම නිර්මාණ බොහොමයක් දැනට අභාවයට පත්ව ඇති අතර ශේෂ වී ඇති කටය සංරක්ෂණය කිරීමේ අවශ්‍යතාව දැඩි ලෙසම පැනනැගී ඇති බව සඳහන් කළ යුතුය.
Subscribe to:
Posts (Atom)