Monday, April 15, 2019

රසාස්වාදය

ලෙච්චමිගේ සිතුවිල්ලක්


 

සීතල මීදුම අතරින් පියවර මනිමින් එනවා
වතු යායේ කඳු මුදුනේ දළු නෙලමින් ඇවිදිනවා
කඳු රවුමේ යන ගමනේ වතු මායිම හමුවෙනවා
මායිම ළඟ තේ පඳුරෙදි දෑත දෙපය නවතිනවා

දළු සුළඟට සැලෙනා විට මගේ ඇසිපිය සෙලවෙනවා
පිනි බිඳු බිම වැටෙනා විට නෙත කඳුලැලි වැගිරෙනවා
වටා වැඩුණු තණ පදුරට මහ පොළවට අමතනවා
එදා පඳුර යට සැඟ වූ පුතු කොහි දැයි විමසනවා

පඳුර යටින් හිස ඔසවා හෙමීට නැගිටපන් පුතේ
විසි වසරක මිනිසකු වී මා පසුපස වරෙන් පුතේ
අඩි පාරෙන් වට රවුමෙන් කඳු මුදුනට වරෙන් පුතේ
බංගලාවේ දොරටුව දැක එතනදි නැවතියන් පුතේ

බංගලාවේ දොරටු සතෙන් ලැයිමේ කාමර සියට
කඳු යායෙන් වතු යායට හෙල් වැටියෙන් තැනි පොළවට
ගංගාවෙන් මහ මුහුදට ඉන් එපිටට ඇහෙන ලෙසට
කියන් පුතේ පැමිණිල්ලක් එදා නුඹට වූ වරදට




                      ‘‘කවියක් කියවා රස විදි පසුව ද කිසිදාක නොමැකෙන වේදනාවක් සහෘදයාගේ හදේ ඇති වේ නම් එකී වේදනාවෙන් සෑම මොහොතකම සහෘදයා රිදවයි නම් එය සැබෑ කවිය යි.’’
                                 යථෝක්තයේ සටහන් අරුත් පුන් පුර්විකාවට යථාර්ථවාදී යථාර්ථයක් කැටි කර සදාකාලිකවම සිංහල සාහිත්‍යයේ කවිය තුළින් සහෘද හදවත් ආදරයෙන් ස්පර්ශ කළ බොහෝ කාව්‍ය රචකයන් මෙන්ම සොඳුරුතම කිවිඳියන්ගේ ද ක්ෂේම භූමිය සිංහල කවිය ලෙස හඳුන්වා දිය හැකිය. මානව ජීවිතයේ පවතින අසීමාන්තික වේදනාවන් කිසිදාක නොසිඳෙන්නා වූ මානව ජීවිත පැතිකඩයන් ප‍්‍රස්තුතය කර ගන්නා නූතන කවීන් කිසිදාක නොසිතන්නා වූ නිමේෂයන් තම කාව්‍ය තුළින් ස්පර්ශ කරනු ලබයි. එකී කාරණය තම කාව්‍ය ගෙත්තම තුළ ද අන්තර්ගත කර ගන්නා සොඳුරු කිවිඳියක් සිංහල සාහිත්‍ය අම්බරයේ සදාකාලිවම පායා පිබිදෙන පහන් තරුවක් සේ විරාජමානව වැඩ වසන්නේ ය. සැබැවින්ම ඇගේ කවි මානව චෛතසිකයන්ගේ උදාසීනත්වය පිළිකුලෙන් පිළිකුල් කොට අතීශයින්ම සංවේදී මානව චරිතයන් දාව කරන්නා වු තිඹිරිගෙයක් බදුය. ඇය නමින් මොනිකා රුවන්පතිරණ නම් කිවිඳිය යි. එකී චරිතයේ කාව්‍ය ගෙත්තම් මේ තරමටම මානව හදවතට සංවේදී වීමට හේතු භූතයන් අසීමාන්තිකව පවති.
එය එසේ වීමට ප‍්‍රධානම හේතුවක් වන්නේ ඇගේ කාව්‍යවල පවතින දෘෂ්ටිය යි. මොනිකා රුවන්පතිරණ නම් කිවිඳිය සිංහල සාහිත්‍යයේ නම් දරා සිටින්නේ ස්ත‍්‍රී භානීත්වයෙන් කාව්‍ය නිර්මිතයක් නිර්මිත කොට මානව හදවත තුළට උත්තරීතර ස්ත‍්‍රීත්වයේ අගය පසක් කර දුන් ස්ත‍්‍රීවාදි කිවිඳියක ලෙස ය. එකී කාරණය 

-    ලෙච්චමිගේ සිතුවිල්ලක්
-    දියණිය
-    ඇය යෙහෙළිය මම ගැහැණිය
වැනි කාව්‍ය ගෙත්තම්වලින් මැනවින් විශද වන්නේය. ඉන්පසුව මොනිකා නම් කිවිඳියගේ කවිවල පවතින සුවිශේෂත්වය වන්නේ සමාජ විශමතාව පිළිබඳවත් එකී විශමතාවන් හේතුවෙන් මානව චරිත විදින්නා වූ දුක්ඛිත වේදීතයන් පිළිබදවත් ය. එහිදි සහෘද හදවත කම්පා කරමින් පෙර විකාශ කරන ලද අත්දැකීමට සෑම මොහොතම කවිය කියවූ පසුව වේදනාබර වේදීතයන් හමුවේ සහෘද හදවත හඬවාලන්නට යෙදෙයි. ඇය නිර්මාණය කරන ලද ‘පියදාස ඇසූ ප‍්‍රශ්නයක්’ කාව්‍ය පංතිය නිදසුන් ලෙස පෙන්වා දිය හැක.
ධනේෂ්වරවාදී සමාජ ක‍්‍රමය තුළ පංති විශමතාවය මත නිර්ධන ප‍්‍රාන්තික සමාජ චරිතවලට සදාකාලිකවම උරුම වන්නේ ධනපති පංතියේ අතකොළු වීම පමණි. එවැනි සමාජයේ ප‍්‍රබලම මානව කොට්ඨාශයක් පිළිබඳව විවේචනාත්මක ස්වරූපයෙන් කවිකම් කළ උත්තුංග කවීන් පවා විරල වූ සමාජයක මොනිකා රුවන්පතිරණ නම් කිවිඳිය සිංහල සාහිත්‍යයේ පිටන දාව සැබෑ මනුෂ්‍ය චරිතයක් ලෙස සහෘද හදවත් තුළ නවාතැන් ගෙන හමාරය.
               ඉන් අනතුරුව බොහෝ කවීන් අසරණ වන්නා වූ ආකෘති පිළිබඳව ද මොනිකා රුවන්පතිරණ පවා තම කාව්‍ය නිර්මිතයන් තුළ අන්තර්ගත කරනුයේ සැබැවින්ම නැවුම් සාහිත්‍ය නිර්මාණයක ආරම්භයේ සටහන් තබමිනි. ළමා චරිත වෙනුවෙන් කාව්‍ය ගෙත්තම් කිරීමේ දී එකී චරිතවලට කවිය සමීප කරන්නට මොනිකා භාවිතා කරන්නේ දෙපද ආකෘතිය යි. ඉන් පසුව අනුභූතියෙන් අනුභූතියට වෙනස් මගකට යොමු වන මොනිකා විටෙක සදෙස් ආකෘතිය භාවිත කරයි. එලෙසම තම ප‍්‍රතිභා පූර්ණත්වය නැවත නැවතත් විශද කරමින් සදැස් නිසදැස් ආකෘති යුග්මයම එකම කවියක් තුළ සහෘදයා අභිමුඛව පමුණුවාලන්නට ඇය සමත් වේ.
එකී කාරණාවන් තුළින් හුදෙකලා නොවන මොනිකා රුවන්පතිරණ කාව්‍ය අනුභූතීන් හා අරමුණු තුළින් ද පෙන්නුම් කරන්නේ සැබෑ ලෙසම ගතිකතාවයකි. මොනිකා රුවන්පතිරණ කිවිඳියගේ සෑම කවියකම අනුභූතිය අනෙක් කවියේ කාව්‍ය අනුභූතියට වඩා අත්‍යයන්තයෙන් වෙනස් ය. සෑම කවියකම අරමුණ ද සෑම කවිය කවියකටම වෙනස් වන්නේය. යථෝක්ත කාරණා තුළින් මොනිකා රුවන්පතිරණ නම් අසහය කිවිඳිය සිංහල සාහිත්‍ය අම්බරය තුළ කිසිදාක නොමැකෙන්නා වූ අමරණීය සටහනක් ඉතා සංයමෙන් සටහන් නංවා ඇති ආකාරය දැක ගත හැකි වේ. ඇය විසින් ප‍්‍රතිභා පූර්ණ කිවිඳියගේ ශක්‍යතාවය සහෘද හදවත් අමන්දානන්දයට පත් කරමින් දාව කොට ඇති බවත් පැහැදිලිවම ගම්‍ය වන්නේය. සහෘද සිත්සතන් විනෝදයට පත් කරලීමට  ඕනෑම නිර්මාණ කරුවෙකුට පහසු කාර්යයකි. එහෙත් සමාජ යථාර්ථයක් සහෘද සිත් පසාරු කරමින් සිත තුළට කා වදින ආකාරයෙන් දැන්වීමට සෑම නිර්මාණකරුවෙකුටම නොහැකි කාර්යය යි. එහි ලා එම හැකියා ඇත්තෙකු සැබැවින්ම ප‍්‍රතිභා පූර්ණ නිර්මාණකරුවෙකු විය යුත්තේමය. ඒ අනුව මොනිකා රුවන්පතිරණ නම් කිවිඳිය ද එවැනි ප‍්‍රතිභා පූර්ණ නිර්මාණකාරිණියක් ලෙස හැඳින්වීම සැබවින්ම ‘‘ලෙච්චමිගේ සිතුවිල්ලක්’’ යන කාව්‍ය පංතිය රස විදින්නෙකුට මැනවින් කිසිදු විවාදයකින් තොරව පිළිගත හැකි මතයක් වනු නොඅනුමාන ය.
                            බහුතර සමාජයේ වෙසෙන්නන් සාමාන්‍ය ලෙස සිතන, පවසන දේ තුළ ගැඹුරු සංවේගයක් පවතින බව මෙම කාව්‍ය පංතිය ඔස්සේ සියුම් ලෙස මොනිකා රුවන්පතිරණ කිවිඳිය සහෘදයාට විශද කරවයි. වතුකරයේ උඩරට පළාත්වල සේවය කරනු ලබන බහුතර ජනතාවක් දමිළ කාන්තාවන් බැව් කොයි කවුරුත් හොඳින් දන්නා කාරණාවකි. එහි ලා ඉන්දීය සම්භවයක් ඇති මෙම වතු ද්‍රවිඩයන් වතු ආර්ථිකය තුළ මුහුණපාන අසාධාරණය කිවිඳිය මහත් උපේක්ෂාවෙන් ප‍්‍රතිනිර්මාණය කිරීම නිසා සහෘද සිත් තුළ ‘‘ලෙච්චමි’’ නම් කත පිළිබඳ අනුකම්පාවක් ජනිත කොට එම සමාජ තලය තුළ ඔවුන් විදින දුක් කම්කටොළු ගවේෂණය කිරීමේ හැඟීම් සහෘද සිත් තුළ උපදවයි.
ඉතාමත් භාවාතිශය සිදුවීමක් සහෘද සිත්සතන් කම්පා කරවීමෙහි ලා නිර්මාණකරුවෙකුට අවශ්‍ය වන්නේ සංයමය යි. වචන නිසි ලෙස ගලපමින් කලාත්මකව සංයමයෙන් තම නිර්මාණ, නිර්මාණය කරන්නෙකුට සහෘදයා තුළ සැබවින්ම තමාට අවශ්‍ය සිතුවිලි ගොඩනැංවීමට හැකි වනු ඇත.

සීතල මීදුම අතරින් පියවර මනිමින් එන    වා
වතු යායේ කඳු මුදුනේ දළු නෙලමින් ඇවිදිනවා
‘‘ලෙච්චමිගේ සිතුවිල්ලක්’’ කාව්‍ය පංතිය මුලපිරීමේදීම ඇය වතුකරයේ සේවය කරන කාන්තාවක්ය යන වග ඉතා පැහැදිලිව සහෘදයා හට නිරුපණය කර ඇත. එලෙසම මොනිකා රුවන්පතිරණ කිවිඳිය ඉතා දක්ෂ ලෙස අපූර්ව ආකාරයකින් සහෘදයාට පවසනුයේ ‘‘සීතල මීදුම අතරින් පියවර මනිමින් එනවා’’ යනුවෙනි. එනම් ඉතා සීතල බවින් ගහණ මෙම ප‍්‍රදේශයේ අපහසුකම් නොතකා ඇය තම සේවය සඳහා පැමිණෙන බවත් ඇය කාර්යෙහි ලා  ඕනෑකමින් නිරත වන ආකාරයක් ලෙච්චමි කෙරෙහි සියුම් අනුකම්පාවක් ගොඩනංවමින් මොනිකා රුවන්පතිරණ කිවිඳිය සහෘදයාට පසක් කර දී ඇත.

කඳු රවුමේ යන ගමනේ වතු මායිම හමුවෙනවා
මායිම ළඟ තේ පඳුරෙදි දෑත දෙපය නවතිනවා


තේ දළු නෙලා උපයා ගන්නා ඉතා සොච්චම් මුදලින් එදිනෙදා ජීවිතය ගැටගසා ගැනීමට වෙහෙසෙන අසරණ පරිසරයක් ලෙස දිවි ගෙවන මෙම වතුකර ජනතාවට තම අසරණකම නිසා විවිධ ගැහැටවලට මුහුණ දීමට සිදුවන අවස්ථා එමටය. ලෙච්චමි නම් මෙම කාන්තාව කඳු රවුමේ තේ දළු නෙලමින් පියවර මනින අවස්ථාවේ ඇගේ දෙපා එක් ස්ථානයක නොදැනුවත්ව නතර වන්නට හේතු භූත වූ කාරණාවක් තිබේ ද? යන ගැටලූව සහෘද හදවත් තුළ ද නිර්මාණය කරමින් කුතුහලයක් ජනනය වන ආකාරයෙන් ඉතා අපුර්ව ලෙස මොනිකා රුවන්පතිරණ කිවිඳිය මෙම කාව්‍ය පංතිය නිර්මාණය කර ඇත.
ලෙච්චමි විශාල කථාන්තරයක් තමාට කියන්නට උත්සහ දරන බව සහෘදයාට ඒත්තු ගැන්වීමට මොනිකා රුවන්පතිරණ කිවිඳිය සමත් වී ඇත. මායිම ළඟ තේ පදුරේදී ලෙච්චමිගේ දෑත දෙපය නවතිනුයේ කුමන කරුණක් නිසා විය හැකි ද? කුමකට හෝ බිය ගත් දෙයක් හේතුකොට ගෙන ද?

දළු සුළඟට සැලෙනා විට මගේ ඇසිපිය සෙලවෙනවා
පිනි බිඳු බිම වැටෙනා විට නෙත කඳුලැලි වැගිරෙනවා

මෙහි ලා මොනිකා රුවන්පතිරණ කිවිඳිය අපූර්ව රූපකාලංකරණ ද ඉතා සුක්ෂම වන ආකාරයෙන් සිදුවීමට යෝග්‍ය වන පරිදි ඉතා දක්ෂ ලෙස කාව්‍ය පංතියට මුසු කර තිබෙන ආකාරය පැසිසිය යුතු කරුණකි. ලෙච්චමිගේ ඇසිපිය සැලෙන්නේ දළු සුළඟට සැලෙනා විට බව ව්‍යාංගාර්ථයක් ඔස්සේ සහෘදයාට සිතා ගැනීමට තබමින් කිවිඳිය කාව්‍ය මැනවින් රචනා කර ඇත.නැවතත් ව්‍යංග්‍යාර්තයකට පෙම් බඳින කවියා ඉතා ප‍්‍රබල අයුරින් ස්වභාවෝක්ති භාවිතයෙන් ආසක්තව ලෙච්චමී නමැති මානවවාදී ගැහැණියකගේ කඳුළුවල හැඩය සහෘද හදවතට සංවේගයෙන් සමීප කරයි. පිනි බිදු යම් ආකාරයකින් ඇගේ නෙතින් නෙතින් දෝර ගලනා කඳුළු බිංදුවලට සාම්‍යය කර ඇති බවක් ද මෙහි ලා විශද වනු ඇත.
                                           කෙසේ හෝ වේවා සැබැවින්ම කෙනෙකුගේ නෙතින් කඳුලැලි දෝර ගලනන්නේ කුමක් හෝ කරුණක් එනම් සිත කම්පා කරවන හෝ අතීශය සතුටට පත්වන කරුණක් නිසාවෙනි. එය සෑම සියලූ සහෘදයෙකුටම මෙය රස විදීමේදී වැටහී යන කරුණකි.ඒ අනුව ලෙච්චමිගේ හදවත රසාලිප්ත වන්නේ ශෝකයෙන්ද නැතිනම් සතුටින්ද යන දෙගිඩියාවෙන් සහෘද හදවත් වැළඳ ගනී.   ඕනෑම ගැහැණියක් තම සංවේගාත්මක කරුණු අන් අයට පැවසීමට අදිමදි කරති. එය ලෝක ස්වභාවයෙන්ම ගොඬනැගී ඇති යථාර්ථයකි. මෙහි ලා ලෙච්චමි ද තම හදවතේ ගුලි කරගෙන සිටින නිදන් ගත කරගෙන සිටිනා වූ කරුණ එකවර සියලූ දෙනා ඉදිරියේ කියාපෑමට නොකැමැති බැව් කිවිඳිය ද කාන්තාවක් ලෙස තේරුම් ගෙන ඇත. එම නිසාම ඇය එය සහෘදයාට ද කුළු ගන්වමින් මේ අයුරින් ව්‍යාංගාර්ථවත් යෙදුම් ඔස්සේ කෙමෙන් කෙමෙන් නෙත කඳුලැලි වැගිරීමට හේතුවන කාරණාව පසක් කර දීමට උත්සහ කරන්නීය.

වටා වැඩුණු තණ පදුරට මහ පොළවට අමතනවා
එදා පඳුර යට සැඟ වූ පුතු කොහි දැයි විමසනවා


සැබෑ ලෙසම ලෙච්චමිගේ නෙත කඳුලැලි මතු වීමට හේතුවන කාරණය පිළිබඳ ඉහත කාව්‍ය පේලියට වඩා පමණක් ඉදිරියට පැමිණෙමින් අමුතුම කථාවක් කියා පෑමට කිවිඳිය වෙර දරන බව ඉහත පද පේලි රස විදින සහෘදයාට පසක් වනු ඇත. ‘වටා වැඩුණු තණ පදුරට මහ පොළවට අමතනවා’ මෙසේ තණ පදුරට මහ පොළවට අමතන්නේ ලෙච්චමිය. ඇය එසේ අමතන්නේ වෙන කා හටවත් නොවේ. එක් අතීතයේ දිනක ඇය විසින් පඳුර යට සැඟ වූ පුතු හටය. ඇය තම පුතු අමතන්නේ පදුර දෙසට හා මහ පොළවට තම නෙතු අයාගෙනය. එනම් ඒ තුළ විශාල ගැඹුරු සිදුවීම් රාශීයක් මෙන්ම සංවේගාත්මක හද කම්පා කරවන කුමක් හෝ යම් සිදුවීම් ගණනාවක් සිදු වී ඇති බවක් සහෘදයාට මැනවින් වටහා ගත හැකි අයුරින් ඉතා සියුම් අයුරින් හදවත් තුළට කාවද්දමින් සහෘදයාට පසක් කර දී ඇත. එලෙසම එම අතීත දිනයේ පඳුර යටතම පුතා සැඟ වූ යනුවෙන් පවසා සිටින්නේ කුමක්ද? යන්න යථාර්ථවාදීව තම හදවත් විවර කරමින් සමාජ යථාර්ථයක් දෙසට සමාජ ගැටලූ දෙසට මිනිස් සිතුවිලි, මිනිස් ස්වභාවයන් දෙසට නෙත් අයා නිරීක්ෂණය කිරීමට ගවේෂණය කිරීමට කිවිඳිය සහෘදයන්ට ආරාධනා කර ඇත.

පඳුර යටින් හිස ඔසවා හෙමීට නැගිටපන් පුතේ
විසි වසරක මිනිසකු වී මා පසුපස වරෙන් පුතේ


අතීශය ශෝකජනක සිදුවීමකට ලෙච්චමි හට මුහුණ පාන්නට සිදු වූ වග මෙහි ලා සහෘදයාට පසක් වී හමාරය. ලෙච්චමි අතින් විසි වසරකට පෙර සිදු වූ එම පව්කාර හද දෙදරා යන වේදනාව තවමත් අංශු මාත‍්‍රයකින් හෝ අඩු වී නැත. ඇය තවමත් ඒ තුළ විඳවමින් සිටින වගක් මෙහි ලා විශද වනු ඇත. ඇය තම පුතාට ‘පඳුර යටින් හිස ඔසවා හෙමීට නැගිටපන් පුතේ යනුවෙන් අතීශය සංවේගාත්මක බවක් සහෘදයාගේ ද සිත් තුළ ජනිත කරවමින් පවසා සිටියි.
                                            කුමක් හෝ මෙම සිදුවීම සිදු වී විසි වසරක් ගත වී ඇති බවත් කිවිඳිය ඉතා අපූර්ව ලෙස ‘විසි වසරක මිනිසකු වී’ යනුවෙන් පවසා ඇත. එහි ලා ඇය තවමත් ඇගෙන් වෙන් වූ තම පුත‍්‍රයා කෙරෙහි විශාල ආදරයකින් දිවි ගෙවන බවක් විශද වේ. එනමුත් මේ වන විට ද, මේ අයුරින් තම පුතාට පඳුර යට සදාකාලිකවම සැඟවෙන්නට හේතුභූත වූ කාරණය කුමක් වන්නට ඇද්දැයි සහෘදයාට නිශ්චිතවම වටහා ගැනීමට අපහසු වී ඇත. කිවිඳිය එම කුතුහලය සහෘදයා තුළ රඳවමින් එම කුතුහලය මද වශයෙන් අඩු කරමින් පද පේලියෙන් පේලියට ගලාගෙන යන අකාරයේ නිර්මාණයක් සිදු කර ඇති අපූරුව අලංකාරය.

අඩි පාරෙන් වට රවුමෙන් කඳු මුදුනට වරෙන් පුතේ
බංගලාවේ දොරටුව දැක එතනදි නැවතියන් පුතේ


මෙහිලා සහෘදයාට ‘ලෙච්චමි’ හට හට මුහුණ පාන්නට සිදු වූ සිදුවීම පිළිබඳ එය කුමක්ද යන්න ඉතා නිශ්චිතව වටහා ගැනීමට හැකියාවක් ලැබෙනු ඇත. එහිදි කිවිඳිය කෙසේවත් සෘජු පද්‍ය රචනාවට නොගොස් නිර්මාණයේ පවතින රසය එලෙසම රදවමින් සංයමයෙන් යුතුව සමාජ යථාර්ථය ලෙච්චමිට සිදු වූ අසාධාරණය පිළිබඳව සහෘදයාට මැනවින් නිරුපණය කර ඇත. ‘අඩි පාරෙන් වට රවුමෙන් කඳු මුදුනට වරෙන් පුතේ’ යනුවෙන් ලෙච්චමි තම පුතාට පවසන ආකාරයේ පද පේලියක් කිවිඳිය නිර්මාණය කර ඇත. එහි ලා ව්‍යංගාර්ථයෙන් අකලට  ලෙච්චමිගේ  කුස යහනට වැඞී ලෝකය දෙසවත් නෙතු යොමා බලන්නට නැති කල මිනිසා සොයා යන්නට පුතුගෙන් අයදී. එහෙත් ‘බංගලාවේ දොරටුව දැක එතනදි නැවතියන් පුතේ’ යනුවෙන් කිවිඳිය පවසමින් ගැඹුරු සමාජ යථාර්ථයට හේතු පාදක වන නරුම මිනිසා කවුදැයි මෙවැනි පද සංඝටනාවකින් කිවිඳිය අනාවරණය කර ඇත.
                                                   ‘බංගලාව’ කියූ සැනින් රදල ධනපති වාදය තම මනසේ සිහි ගැන්වෙන බව කිවිඳිය  ඉතා හොඳින් තේරුම් ගනිමින් ඒ ඔස්සේ මුළු කථාවම සහෘදයාට සිතා ගැනීමට සලස්වා ඇත. ඉතා අසරණ අහිංසක ජනකායක් ලෙස වතු කඳුකරයේ ජීවත් වන ද්‍රවිඩ ජනයාගේ බහුතර රැුකියාව තේ දළු නෙලීමෙහි නිරත වීමයි. එහි නිරත වන කාන්තාවන් ‘ලෙච්චමි’ ලෙස ආමන්ත‍්‍රණය කරනු ලබයි. කී දහසක් ලෙච්චමි ලා බංගලාවේ ගොදුරු බවට පත්ව ඇත් ද? මෙවැනි සමාජ අසාධාරණකම් කොතෙකුත් සිදුවන බව සංයමයෙන්, දැඩි ශෝකයකින් යුතුව කිවිඳිය අනාවරණය කරයි.නමුත් ඒ ලේච්චමිලටවත් ද්‍රවිඩ මිනිසුන්ටවත් පොදු වූ කාරනාවක් නොවේ. ධනේශ්වරවාදී සමාජ ක‍්‍රමය තුල නිර්ධන පන්තිය නියෝජනය කරන අවිහිංසක ස්ත‍්‍රී වර්ගයාට සදාකාලිකවම උරුම වුයේ ධනපති පන්තියේ අතකොලූ බවට පත්වීම පමණි. එම නිසාම මෙම එක් සමාජ පන්තියකට උපකුලයකට සීමා කළහොත් එය සමස්ත කාව්‍ය වියමනටම සිදු කරන්නාවු අසාධාරණයකි.
                                       බංගලාවන්හි ජීවත් වන රදල පැලැන්තියේ ධනවතුන් තම බලපුළුවන්කාරකම් ඔස්සේ තමාට අවැසි දෑ ඉටුකර ගන්නා පිරිසක් බැව් රදල පැලැන්තිය දෙස ද්වේශසහගත බැල්මක් හෙලමින් කිවිඳිය ගම්‍ය කර ඇත. ඒ අනුව ලෙච්චමිට ද සිදු වී ඇත්තේ බංගලාවේ ගොදුරක් බවට පත් වීමටය. එහි ලා තම කුසෙහි පිළිසිඳුණු දරුවා බිහි වූ පසු කර කියාගත දෙයක් නොමැතිව ඇගේ අසරණ බවත්, දිළිඳු භාවයත් හේතු කරගෙන දරුවා මහ පොළවේ තණ පඳුරු යට සඟවන්නට සිදු වූ බැව් භාවතීශය හැඟීම් ගොන්නක් සහෘද සිත් හි උපදවමින් නිරූපණය කර ඇත. ‘ බංගලාවේ දොරටුව දැක එතනදි නැවතියන් පුතේ’ එනම් තම පුතාට ද බංගලාවේ අයිතියක් පවතින බවත් පුතාට සුදුසු ස්ථානය එය බවත් ඉතා සුක්ෂම අයුරින් සහෘදයාට පසක් කර ඇත. එහි ලා සමාජ යථාර්ථයක් ගැඹුරින් අවලෝකනය කිරීමෙහි ලා කිවිඳිය සමත් වී ඇත.


බංගලාවේ දොරටු සතෙන් ලැයිමේ කාමර සියයට
කඳු යායෙන් වතු යායට හෙල් වැටියෙන් තැනි පොළවට
ගංගාවෙන් මහ මුහුදට ඉන් එපිටට ඇහෙන ලෙසට
කියන් පුතේ පැමිණිල්ලක් එදා නුඹට වූ වරදට


                                              අවසාන පදවැල් කිවිදිය විසින් ගලපන්නේ තම කාව්‍ය ගෙත්තමේ අඩංගු කලාවූ සංයමයෙන් තරමක් ඈත්වය.අවසානයේදී ඇය සමස්ත සමාජයටම විසල් වූ කතිකාවතක් සමාජ කරන අතර නිද්‍රාශීලි මානව වර්ගයා පුබුදුවාලමිනි. මේ වන විට ලෙච්චමී නමැති අවිහිංසක චරිතය ධනේශ්වරවාදී සමාජ ක‍්‍රමයේ නරුමයන් විසින් ගොදුරක් කරගෙන හමාර අතර ඈගේ හදවත මෙන් රැුකි අවිහිංසක කිරිකැටියා වෙනුවෙන් ලෙච්චමී ඇතුළු ඇය විසින් නියෝජනය කරන සමස්ත සමාජයේ මෙම වේදිතය විඳි සියලූ ගැහැණුන්ගේ පයෝධර තුඩු මතට ස්නේහයේ නාමයෙන් ගල එන ලද ක්ෂිර ධාරාවන්ද වියලි යන්නට ඇත්තේ එකී වූ හදවතට කොතෙක් නම් වේදනා දෙමින්ද.අවසානයේ ලෙච්චමී තම නිහැඬියාව බිඳ හෙලයි. ඇය මියගිය කිරිකැටියාගෙන් අයදිනවා සේ සමස්ත විශ්වයෙන්ම යම් දෙයක් අයදී.එනම් එය අන් කිසිවක් නොව තවත් ලෙච්චමිලා මෙම සමාජයේ බිහි නොවන්නට අවශ්‍ය කරන සමාජ ක‍්‍රමවේදයයි. එම කාරණය සත්සමුද්‍රයෙන් එපිට මුළුමහත් විශ්ව වර්ගයාටම අදාළ වුවද ධනේශ්වරවාදී සමාජ ක‍්‍රමය තුල නම් ස්වප්නයක් නොවිය හැක
                                             මොනිකා රුවන්පතිරණ නම් කිවිඳිය ‘‘ලෙච්චමිගේ සිතුවිල්ලක්’’ පද්‍ය පංතිය නිර්මාණයෙහිදි ශබ්ද සංඝාටනාව කෙරෙහි ද සිය අවධානය යොමු කරමින් ඉතා අපූර්ව ලෙස නිර්මාණය කර ඇති බවක් විශද වනු ඇත.
                    නිද-: කඳු යායෙන් වතු යායට හෙල් වැටියෙන් තැනි පොළවට 
                                       ස්වාභාවොක්ති අලංකරණය අනුප‍්‍රාසය, ව්‍යාංගාර්ථවත් බව උපමා රූපක ආදි සියලූ කාව්‍යලංකරණ ඉතා දක්ෂ ලෙස සියුම් අයුරින් සුක්ෂමව තම පද්‍ය කාව්‍ය රචනයෙහි එක් කිරීමට කිවිඳිය සමත් වී ඇත. ඒ ඔස්සේ තම හදවත සියුම් ලෙස කම්පා කරවු සමාජ යාථාර්ය තුළ තිබෙන සංවේගශීලි සිදුවීම සංයමයෙන් යුතුව සහෘදයා හමුවේ ගෙනහැර පෑමට ද ප‍්‍රතිභා පූර්ණ නිර්මාණකාරිණියක ලෙස දස්කම් පා ඇත.   
             මොනිකා රුවන්පතිරණ නම් කිවිඳිය විශේෂකොට කාන්තාව හමුවේ පද්‍ය රචනා කිරීමට උත්සුක වූ නිර්මාණකාරියකි. අන් නිර්මාණකරුවන් මෙන් නොව ගැහැණිය හමුවේ සිදුවන නොයෙකුක් තාඩන පීඩන විවිධ අවස්ථා ඉතා සියුම් ලෙස අපූර්ව අයුරින් කවිවලට ප‍්‍රති නිර්මාණය කිරීමට ඇය සමත් බවක් දක්වා ඇත
                                                                   ‘‘ලෙච්චමිගේ සිතුවිල්ලක්’’ යන කාව්‍ය හමුවේ සමාජයට අනාවරණය කර සිටිනුයේ ගැඹුරු සමාජ සංසිද්ධියක යථාර්ථයක් බැව් මෙය රස විදින  ඕනෑම සහෘදයෙකු හට මැනවින් ගම්‍ය වන කරුණක් වනු ඇත. මෙහි ලා එම සංවේගාත්මක සමාජ සංසිද්ධිය මොනිකා රුවන්පතිරණ නම් ප‍්‍රතිභාපූර්ණ කිවිඳිය විසින් අපූර්වාකාරයෙන් සංයමයෙන් යුතුව සහෘද සිත්සතන් කම්පා කරවමින් සමාජය පිළිබඳ වඩා වඩාත් නිරීක්ෂණය කිරීමටත් ඒ පිළිබඳ දැනුවුත් වීම සඳහා යොමු කරවීමටත් අසාධාරණකම් හමුවේ දෙවරක් නොසිතා නැගී සිටීමට දිරියක් ද, ‘ලෙච්චමිගේ සිතුවිල්ලක්’ නම් පද්‍ය පංතිය ඔස්සේ ලබා දෙන බව මැනවින් විශද වේ.       

2 comments:

  1. ලෙච්චමීගේ සිතුවිල්ලක් ඇය ලීවේ කුමන ග්‍රන්ථයේද ? ''ලෙච්චමීගේ සිතුවිල්ලක් උපුටා ගත්තේ කුමකින්ද?

    ReplyDelete