Friday, August 23, 2019

The Beauty and the Beast

    ‘‘ද බියුටි ඇන්ඩ් ද බීස්ට්’’ කවියක් බඳු සිනමා කෘතියකි.

                                                                        ශාන් කොක්ටෝගේ නවතම චිත‍්‍රපටය වන ‘‘ද බියුටි ඇන්ඩ් ද බීස්ට්’’(The Beauty and the Beast) සිනමා කෘතියෙහි තිරශ්චීන සත්වයා වූ කලී ගෘහයට හිලෑ වූ අද්භූත, සානුකම්පිතව තුරුලූ කොටගත හැකි වළසෙකි. ‘‘මා සතු සියලූ බලයන් ලබා ගත්තේ විජ්ජාවෙන්’’ යැයි උගෙන් ප‍්‍රකට වේ. මෙම චිත‍්‍රපටයෙන් යථානුරූපී, අපූර්ත්වයෙන් යුත් සිත් කා වදින සෞන්දර්ය කිසිදු ප‍්‍රකාශයකින් විවරණය කළ නොහැකි ය. ස්වකීය ජීවිතයේ 50 වැනි දශකය ගත කරන කොක්ටෝ තවමත් බොහෝ නැවුම් සිතුවිලි ඇත්තෙකි. අසමාන්‍ය බලයන් මැඩ පැවැත්වීමෙහි ලා මේ වයසේදී කොක්ටෝ කර තිබෙන්නේ ඉතා සුළු දෙයක් වුවත් ඔහු හට සෑම විටකම විවිධ විජ්ජාවන් සම්මිශ‍්‍රණය කිරීමටත් නළු නිළියන් වෙත පේ‍්‍රක්ෂක ආකෂර්ණය යොමු කරවා ගැනීමටත් හැකියාව තිබිණ.
   කවියාගේ දෘෂ්ටියට හානිදායක නොවන පරිද්දෙන් ගොඩනඟන ළමයගේ සරල විශ්වාසය ඔහුගේ නාටේ‍යා්චිත උපකරණයේ අංගයක් ලෙස පවතී. නිර්මාණශිලී බලවේග බවට පත් කිරීමට ආදරණීය හදවතකට හැකි බව යනාදියෙහි සැඟවුණු අරුත් අධ්‍යක්ෂවරයාගේ පිළුණු නොවූ දෘෂ්ටියෙහි විශ්වාසනීයත්වයට ලක් වන බැව් පෙනේ. මෙහි විජ්ජා කැඩපත අනාවරණය කරනුයේ කෲර සොහොයුරියන්ගේ හදවත් හි පවතින ඊර්ෂ්‍යාව, ද්වේෂය, දුෂ්ඨ චේතනාව පමණක් නොවේ. එහි ඇල්මැරුණු නිශ්ඵලාත්මක නිරීක්ෂණයෙන් යළි සමච්චල් කොට ඔවුන් ඇකිලී රැලි වැටුණු වාණරයන් බවට පත් කළ හැකි වේ. නොඑසේ නම් ඇඟ රැලි වැටුණු භයානක මහලූ යකින්නක බවට පත් කිරීමෙහි හැකියාව ඇත.
                                                           හොලිවුඩයේ භාරකාරත්වය යටතේ පරිණත සිනමා පේ‍්‍රක්ෂකයන් නිබඳව දඬුවමකට ලක් වන බව සත්‍යයකි. සිදු වෙතැයි නොසිතිය හැකි එබදු දේ එරල් ෆ්ලයින් මහතා තනි අතින් බුරුමය දිනා ගන්නා ලෙසින් ද, ජේම්ස් කැග්නි මහතා ජපනුන් පලවා හරින්නා සේ ද, කුඩා යමක් පොදි ගසාගෙන යන ටොන්සිල්ස් මෙනවිය නිව්යෝක් හි මිනිස් වාසයට නුසුදුසු තැනකට වී හදවතින් ඉකිබිඳුණු ලැබුවත් ඊළග දිනයේ අගනුවර ඔපෙරා හවුස් හිදී ඇගේ මොර දීම වෙනතකට හැරෙන්නා සේ ද, ඇදහීම පහසු වේ.
     චිත‍්‍රපටයක ගුණාත්මක බව වඩාත් සිත් රිදවන ව්‍යාජත්වයෙන් යුත් නීරස කතාවක තත්ත්වයට පිරී හෙළීමට සිනමාත්මක වු විශ්මයජනක දැයට හැකියාවක් තිබෙන බැව් අපි දනිමු. මෙය අරාබි නිසොල්ලාසය සහ අවශේෂ අද්භූත කතාවන්ට ද පොදුවේ බලපාන්නකි. සෑම විටකම  දෙවියෙකු සේ සිනමා කැමරාවට ද  ඕනෑම දෙයක් කිරීමේ හැකියාව තිබේ. එහෙත් ප‍්‍රාණවත් නෙත් කළු සමූහයක් ලෙසින් බෝතලකින් පිටතට පැමිණෙන ජීනි (අරාබි ජන කතාවල දක්නට ලැබෙන භුතයකි.) කෙනෙකු හා බූරුවන් රංචුවක් කන්කලූ ස්වරයකින් ගීත ගැයීම ඇරඹුවහොත් අපගේ විස්මය අවසන් වීමට පිළිවන. මෙහි රහසකින් අර්ධයක් පැහැදිලිවම තෝරා ගනු ලබන්නේ නිවැරදි කැමරා ශිල්පියා විසිනි. කොක්ටෝ මෙහි භයානකකම දන්නා හෙයින් ඔහු බැරැුරුම් ස්වයං ශික්ෂණයකින් හෙබි කැමරා ශිල්ප ප‍්‍රයෝග භාවිත කරනුයේ තවමත් තම මනාපයට බාධා වීමට ඉඩ නොතබමිනි. අනෙක් සංදර්භයකදී ඔහු මෙසේ පැවසුවේය. ‘‘වඩාත් දුර යෑමට අපට කොපමණ දුරක් අවැසි ද?’’ යන වැටහීම ප‍්‍රගල්භභාවයේ උපායශීලිත්වයෙහි ඇතුළත් වේ.
                                                                  අද්භූත කල්පනාවන්ගෙන් හෙබි සුරංගනා කථා මත බමනය වීමෙන් කලාතුරකින් වැලකී සිටින වෝල්ට් ඩිස්නි වැන්නන් උපායශීලිත්වය සහ දෝෂවලින් වියුක්ත උසස් රසඥතාව යන ද්විත්ව උගුලට හසුවනු දක්නට ලැබේ. මෙම චිත‍්‍රපට සමෘද්ධියෙන් ආඪ්‍ය ය. නිදසුනක් වශයෙන් යම් නිර්මාණකරුවකු විසින් වඩාත් සංකීර්ණ ලෙසත්, නොමසුරුවත්, අසීමාන්තිකවත් ගොතනු ලබන චිත‍්‍රපටය නැමැති ආශාවන් මාලාවට යමෙකුට සහාය විය නොහැකි වුවත් එම කලා කුසලතාව අගය කළ හැකි වේ. මේ අයුරින් කථාව හා සබැඳි සිහින් හුය හෝ නිර්මාණකරුවාගේ නිපුණතාව සාම්‍යය වනුයේ භයානක සිහින් හිම කුට්ටියක් මත සහතික වශයෙන්ම නොවැටී ලිස්සා යෑමට පය ලා ගන්නා පා තල දෙකකට ය. චිත‍්‍රපටයක වස්තු විෂය මෙවැන්නකි.
                                       වෝල්ට් ඩිස්නි හා නොයෙල් කොවර්ඞ් යන ප‍්‍රකට සිනමාකරුවන්ගේ අනෙක් දක්ෂතා සැලකීමේ දී ඔවුන් ඉතා නිවැරදි දෙයකට යමකින් අනින්නාක් මෙන් ප‍්‍රීති ප‍්‍රමෝදයකින් යුක්තව සිහින්ව මතු වන ඉහවහා ගිය සතුටින් කුල්මත් වෙමින් හැසිරෙන්නේ වලාකුළු රහිත අඹරේ මකරුන් පියාඹන්නාක් මෙනි. ‘‘ද බියුටි ඇන්ඞ් ද බීස්ට්’’ (The Beauty and the Beast) චිත‍්‍රපටය නිර්මාණශීලිත්වයේ දොරකඩට පැමිණ ඇති හෙයින් ඉහත කී ගුණ මම එහි විග‍්‍රහ කිරීමට උත්සුක නොවෙමි. මෙම චිත‍්‍රපටයෙහි තිබෙන එයට ම ආවේණික වූ වෙසෙස් ගුණය නම් ප‍්‍රාථමික වශයෙන් එය කවියෙකුගේ කෘතියක් වීම ය. බිය ගන්වනසුලූ භක්තිය සමඟ යථාරූපි ලෙසින් පෙනෙන මෙම චිත‍්‍රපටයෙහි මූලද්‍රව්‍යයන් නිසි සේ වාර්තා කිරීමට මෙහි කැමරා කාචවලට ශක්‍යතාව තිබේ. ඇතැම් විට මුළුමනින් ම එය නොතකා හැරීමට හෝ දුර නොපෙනෙන අයුරින් සීරුවෙන් එය දෙස බැලීමට හෝ ඊට හැකියාව තිබෙන බැව් පෙනේ.
                                             වරක් මේ පිළිබඳ විචාරයක් පල කෙරුණු අවස්ථාවක දී හැම විටකම මෙන් ඒ සමඟ වඩාත් මතු වුයේ බියගලූ කෙටි උස් හඬකි. කලාතුරකින් හෝ කිසිදු විටක මෙම චිත‍්‍රපටයේ මූලද්‍රව්‍යයන්ගේ ස්වරූපය වෙනසකට ලක් කළේ ද? ‘‘ද බියුටි ඇන්ඞ් ද බීස්ට්’’ (The Beauty and the Beast) චිත‍්‍රපටයෙහි දක්නට ලැබුණු සද්්ගුණය මෙය වේ. මෙය වූ කලී ශ්‍රේෂ්ඨ චිත‍්‍රපටයක් හෝ මුළුමනින් ම සාර්ථක කලා කෘතියක් නොවිය හැකි ය. සිහිනය සහ රාත‍්‍රීයේ දුස්ස්වප්නය යන සාධක හේතුකොට ගෙන මෙය සරල වූද, විසිතුරු කැටයමෙන් යුක්ත වූද, යථාර්ථය සහ අද්භූතය සෑම විටකම සුසංගත ලෙස මිශ‍්‍ර නොවූව ද නිර්මාණයකි. එහෙත් කවියෙහි බලපෑම මීට ලැබී තිබේ. මෙය සිනමාව ඇතුළත ඉතා විරල අවස්ථාවකි. මේ චිත‍්‍රපටය සරල, බොළඳ ආශාවකින් සේම අරුම පුදුම පරිකල්පනයකින් යුත් නිෂ්පාදනයකි. ඇලිසාවගේ අපූරු රට (Alice In wonderland) මෙන්ම කොලරිජ්ගේ ‘‘කුබ්ලා ඛාන් (Kubla Khan) සමඟ ද මෙහි ඥාති සබඳතාවක් තිබේ. මෙම චිත‍්‍රපටයේ අභිප්‍රාය මුදුන්පත් වූ විට එය ජයග‍්‍රාහී බවෙන් උද්දාමයට පත් වේ.
                                 
                                   කොක්ටෝ ස්වකීය නිර්මාණ සැලසුම් ශිල්පී, කැමරා ශිල්පී ක‍්‍රිස්ටියන් බෙරාඞ් (අද හොලිවුඩයේ වඩාත් අවධානයට ලක් වී සිටින) සමඟ එක් වී සෙනහසෙන් සපිරුණු දර්ශන අනභිභවනීය ලෙස නිමැයූහ. ධවල අශ්වයා පිම්මෙන් ඉදිරියට යෑමට ප‍්‍රථම තල්ලූ වී විවර වන ගේට්ටුව, වර්ෂාවෙන් පෙගුණු වනාන්තරයේ ගුප්ත අවිනිශ්චිත භාවයෙන් කුඩා රිකිලි සහ ගසක ශාඛාවන් හැකිළීම, බියජනක කෲර පිශාචයන්ගේ ශාලා හරහා පාවී යන සුන්දරත්වය, විදුලි පන්දම් ඔසවා සිටින නොපෙනෙන මිනිසුන්ගේ අත්, මාළිගාවේ ගෘහනිර්මාවල කොටසක් වන ගල් කුළුණු මත සිට වටේට හැරුණා වූද, ජීවිතයට ක්ෂණයකින් ළඟා වන්නා වූද, ප‍්‍රතිමා යනාදී මෙහි දර්ශන දෙනෙත් ස්නේහයෙන් ස්පර්ශ  කරන අතර ස්මෘතියෙහි ද නිබඳව ගැවසේ.
                                   විස්මයෙන් ගල් ගැසුණු ගොළු සමූහ ගීත ඛණ්ඩයක් වැනි මෙහි ආඛ්‍යානය අතරතුර මෙය සිනහා මුසු මුහුණින් නැරඹිය හැකි වේ. මෙම චිත‍්‍රපටයෙහි තිර රචනය ඇතිව ලියු කොක්ටෝ විසින් ම මෙය අධ්‍යක්ෂණය කරන ලද හෙයින් තනි අධ්‍යක්ෂවරයෙකුගේ බල ආධිපත්‍යයෙහි වාසිය මෙහිදි සතුටින් විදින්නට ඇත. මෙය සැලකිල්ලට ගැනීමේ දී සාමාන්‍ය ප‍්‍රමාණයේ චිත‍්‍රපට නිත්‍ය වශයෙන් තිර රචනා කරමින් අධ්‍යක්ෂණය කරනු ලබන්නේ තුන් වෙනි පාන්තිකයන් විසිනි. ඇතැම් විට යම් අතපසු වීම් තිබුණත් මේ චිත‍්‍රපටය ගැන කිව යුත්තේ කුමක් ද? වැඩි වාර ගණනක් හෝ ඉඳහිට හෝ මේ අරභයා කිව යුත්තේ කුමක් ද?
                                                                    කොක්ටෝ හැරුණු විට මෙබදු චිත‍්‍රපටයක් තැනීමට අවසෙස් කෙනෙකු නොමැත. ඔහුගේ පෞරුෂයට කා වැදීමෙන් විනිර්මුක්ත වූ දර්ශනයක් මෙහි සොයා ගැනීම ඉතා අසීරු ය. කොක්ටෝගේ නිර්මාණ හඳුනා ගත්තවුන් විශේෂයෙන්ම මෙරට නාට්‍ය කේන්ද්‍රය මෑතක දී ඔහුගේ ‘‘නිරයේ යන්ත‍්‍රය’’ නාට්‍යය කොළඹ දී නිෂ්පාදනය කළ බව මට සිහිපත් වේ. විජ්ජා කැඩපත, සංකේතාත්මක සුදු රෝස මල, අර්ධ මනුෂ්‍ය තිරශ්චීන ලෙස කෲර පිශාචයා ප‍්‍රක්ෂේපණය කළ අයුරු, බැලේ සර්කස් හා එහි ඇති ඥාතීත්වය, මායාකරුවාගේ උපක‍්‍රම යනාදී කොක්ටෝගේ කලාවේ වැදගත් සාරයන් ඔවුන් දැන් පෙරටත් වඩා හොඳින් හඳුනා ගත යුතුව තිබේ. පමා නොකොට මෙම චිත‍්‍රපටය වෙන් කරවා ගැනීම සඳහා ලංකාවේ දක්ෂ සිනමා කළමනාකරුවකු එකඟ කර ගැනීමට මට දැන් හැකි වේ ද? මෙහි ඒ සඳහා අනුග‍්‍රහය දක්වා තිබෙනුයේ ලන්ඩන් ෆිල්ම් ප‍්‍රඩක්ෂන්ස් සමාගම විසිනි. ඉතා හොඳ නව ප‍්‍රංශ, ඉතාලි චිත‍්‍රපට ලාංකීක පේ‍්‍රක්ෂකයාට නැරඹීමේ අවස්ථා නොමැති වීමෙන් වඩාත් ගැඹුරු චින්තනයක් ගොඩනඟා ගැනීමට සහ සිනමාව අද පුද කරන ප‍්‍රබල උත්තේජනත්මක විනෝදාස්වාදය ලැබීමේ වරම් ඔවුන්ට නොලැබේ.


“The Beauty and the Beast is Film Poetry”  යන මැයෙන් 1948 මැයි 30 වනදා  
“The Times of Ceylon”  පුවත්පතට ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා විසින් ලියන ලද ලිපියකි.

Monday, August 12, 2019

යහපත් ටෙලි නාට්‍ය කලාවක් ගොඩනැගීම සඳහා




                                                      ඕනෑ ම පුරවැසියෙකුට මාධ්‍ය හැසිරවීමේ නිදහස තිබේ. එහෙත් වෘත්තීය වශයෙන් මාධ්‍ය හැසිරවීම පිළිබඳ සම්මුති පිළිගන්නා අයට පමණක් ඒ නිදහස ක‍්‍රියාත්මක කළ හැකි ය.’’ යන්න මාධ්‍ය හසුරුවන සෑම පුද්ගලයෙකු ම දන්නා කරුණකි.
                                                                              රූපවාහිනි මාධ්‍ය විවිධ වයස් කාණ්ඩවලට, ආගම්වලට හා ජන වර්ගවලට අයත් පේ‍්‍රක්ෂකයන්ගේ රාසාස්වාදය පිණිස යොමු වු ගෘහස්ථ ශ‍්‍රව්‍ය-දෘශ්‍ය මාධ්‍යයක් වන බැවින් ‘ටෙලි නාට්‍යකරුවා’ ඉහත කී පේ‍්‍රක්ෂක ව්‍යුහයේ විවිධත්වය පිළිබඳ නිරන්තර අධ්‍යනයෙන් ස්වකීය නිර්මාණ ඉදිරිපත් කිරීමේ වගකීම දැරිය යුතු ය.
                                                            නාට්‍ය කලාව මිනිසාගේ ජීවිතය අනුකරණය කරනු ලබන මානව කේන්ද්‍රීය කලාවක් බැවින් පොදුවේ ටෙලි නාට්‍යකරුවන් සෑම දෙනෙකු විසින් ම ‘මහජන අයිතිය’ පිළිගැනීම අවශ්‍ය වේ. නාට්‍ය සමාජීය සම්බන්ධතාවක් වන බැවින් පුරවැසි පෞද්ගලිකත්වය පිළිබඳ විශේෂ වගකීමක් ද ටෙලි නාට්‍යකරුවා සතු වෙයි. මෙහි දී ‘පොදු පරමාර්ථය’ යනු වඩා ඥානාන්විත පෞද්ගලික පරමාර්ථයක් ය’ යන්න  ටෙලි නාට්‍යකරුවා අර්ථ දක්වා ගත යුතු වෙයි. අන් කවර ජනමාධ්‍යයකටත් වඩා රූපවාහිනිය මිනිසාගේ දෛනික න්‍යාය පත‍්‍රය සකස් කිරීමට ඉවහල් වන බැවින් ජනතාවට හොඳ ම දේ සැපයීම ටෙලි නාට්‍යකරුවාගේ කාර්යභාරය බවට පත්විය යුතු ය.ටෙලි නාට්‍ය නිර්මාණකරුවාට ස්වයංවාරණයක් තිබිය යුතු වන්නා සේ ම, ආචාරධර්ම පද්ධතියක් අවශ්‍යතාව ද මෙහි දී පැන නගී.
                                                                                               ආචාරධර්ම මාලාවක ප‍්‍රයෝජන ගණනාවකි. වෘත්තිකයන් හැසිරිය යුතු ආකාරයත්, වෘත්තිකයන් හා නරඹන්නන් අතරත් පාලන බලධාරීන් අතරත් විශ්වාසය ගොඩනැගීම ද මෙහි අරමුණ වේ. විශේෂයෙන් තම ටෙලිනාට්‍ය නිර්මාණයෙහි ගුණාත්මක අගය වර්ධනය කර ගැනීම සඳහා ආචාරධර්ම ප‍්‍රයෝජනවත් වෙයි.
                                                                              පුරාණයේ දී බොහෝ පෙරදිග රටවල තිබුණේ නීති නොව සිරිත් ය. පෙර සිරිත්, කුල සිරිත්, හෙළ සිරිත්, ගම් සිරිත් ආදී වශයෙන් ගැමි ජනයා විසින් මෙම සිරිත් හැඳින්විණි. ජනමාධ්‍ය දියුණුවත් සමඟ මෙම සිරිත් අතික‍්‍රමණය කෙරෙන කලා විෂයයන් කරා ජනමාධ්‍යකරුවා මෙහෙයැවිණි. දැන් නැවතත් මෙම සිරිත් පිළිබඳ ආපසු හැරී බලන්නට, ස්වයං විවේචනයකට පත් වන්නට කාලය එළඹ ඇත. කාලන්තරයක් තිස්සේ ශ‍්‍රී ලංකාවේ රැුගුම් පාලක මණ්ඩලය යටතේ වූ චිත‍්‍රපට සමීක්ෂණ ක‍්‍රියාවලියේ දී නිෂ්පාදනය කළ චිත‍්‍රපට සම්බන්ධයෙන් පහත සඳහන් කාරණා පිළිබඳ විශේෂ අවධානය යොමු කෙරිණි. එමෙන් ම එම කරුණු මත සලකා චිත‍්‍රපටය ප‍්‍රදර්ශනයට පෙර නිර්දේශ නිකුත් කෙරිණි.

1.    පවුලේ සැමට නැරඹිය හැකි
2 .   වැඩිහිටියන්ට පමණයි.
3 .  වැඩිහිටියන්ට වඩාත් සුදුසුයි.
4.   තහනම් 

මෙසේ සලකා බැලූ කරුණු අතර, 

x    චිත‍්‍රපටය සම්මත පාලන තන්ත‍්‍රයට පටහැනි නොවිය යුතු වීම.
x    උපහාසයට හා අපහාසයට ලක්වන අන්දමේ එකක් නොවිය යුතු වීම.
x    අධිකරණයට අපහාසාත්මක වන කිසිම දර්ශනයක් හෝ වගන්තියක් නොතිබිය යුතු වීම.
x    අපරාධකරුවන් වීරයන් සේ හුවා දක්වන දර්ශන නොතිබිය යුතු වීම.
x    විවාහය, සම්මත නීති-රීති, චාරිත‍්‍ර-වාරිත‍්‍ර, ස්ත‍්‍රී පුරුෂ සම්බන්ධතාව උත්තරීතරභාවය සිනාවට ලක්වීමට කිසි ම ලෙසකින් ඉඩ නොතිබිය යුතු වීම.
x    ආගම්වාදය ඇවිස්සීමට හෝ එක ආගමකට වඩා අනෙක් ආගම හුවා දක්වා කිසිම දර්ශනයක් නොතිබිය යුතු වීම.
x    මිනීමැරුම්, හොරකම් සඳහා යොදනු ලබන උපක‍්‍රම, බෝම්බ, යුද්ධායුධ පාවිච්චිය පිළිබඳ උපක‍්‍රම පෙන්වන අයුරින් ඇති දර්ශනවලට ඉඩ නොතිබිය යුතු වීම.
x    පුජ්‍ය පක්ෂය හා ශාසනය විවේචනයට ලක්වන කිසිම දර්ශනයකට ඉඩ නොතිබිය යුතු වීම.
x    මරණ දණ්ඩණය ක‍්‍රියාත්මක කිරීම වැනි දේවල් මහජනයාට දකින්නට නොතිබිය යුතු වීම.
x    නවීනත්වය, ස්ත‍්‍රී පුරුෂ සංසර්ගය, ජීවිතයේ වෙනත් රහස් අවස්ථා තිරයේ ප්‍රෙක්ෂකයාට පෙන්වන දර්ශනවලට ඉඩ නොතැබිය යුතු වීම.
x    සිපගැනීම් පිළිබඳ දර්ශන අධික නොවිය යුතු වීම.
ඇතුළු කරුණු සලකා බැලීම සිදු විය.

                                          ටෙලි නාට්‍ය, චිත‍්‍රපයට වඩා ජනතාවගේ එදිනෙදා පොදු ජීවිතයට ළංවුණ කලාවක් වී නමුදු, ටෙලි නාට්‍ය කර්මාන්තයේ ඇති සංකීර්ණ බව හා ප‍්‍රමාණාත්මක වැඩි බව මත චිත‍්‍රපටය මෙන් සමීක්ෂණය කිරීමේ පහසුවක් නොතිබුණි. ටෙලි නාට්‍ය ඇරඹි මුල් යුගයේ දී ජාතික රූපවාහිනිය විසින් ස්වයංව පනවා ගත් නීති-රීති මාලවක් මූලික ප‍්‍රතිපත්ති හා ක‍්‍රියා පටිපාටියක් අනුව පිටපත් කියවීම, ටෙලි නාට්‍ය විකාශයට පෙර නැරඹීම යන අවස්ථාවල දී කිසියම් ප‍්‍රමිතියක් සාදා ගනු ලැබ තිබුණි. කල් යත්ම නාලිකා බහුල වීමත්, ටෙලිනාට්‍ය විකාශ කාල බහුල වීමත්, කර්මාන්තයක් ලෙස පුළුල් වීමත් යන කාරණා මත මෙම සීමාවන්, ප‍්‍රමිතීන් අද වන විට ටෙලි නාට්‍යකරුවා ම නොසලකා හරින තත්ත්වයකට පත්ව තිබේ.
                                                                                                          මීට අමතරව ශ‍්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව මඟින් විකාශය කිරීම උදෙසා වු ටෙලි නාට්‍ය තෝරා ගැනීම 1982 අංක 06 දරණ ශ‍්‍රී ලංකා රූපවාහිනී සංස්ථා පණතේ 11 වන කොටසේ 07 ෙඡ්දයේ 01 උප වගන්තිය (ඇ* යටතේ වු පහත දැක්වෙන උද්ධෘතයේ නියමයන්ට මුලික වශයෙන් යටත් විය යුතු ය.

(අ. මනා රසවින්දනයට නැතහොත් ශිෂ්ඨත්වයට හානිකර හෝ අපරාධ කිරීමට පොළඹවන හෝ කැලඹීමට තුඩු දෙන හෝ යම් වාර්ගීක හෝ මහජන හැඟීම්වලට හානි කළ හැකි කිසිවක් වැඩසටහනට ඇතුලත් නොකරන බව.

(ආ. වැඩසටහන්වලට ඇතුලත් කරනු ලබන කවර වූ හෝ ආකාරයේ යම් ප‍්‍රවෘත්ති නිසි පරිදි නිවැරදිව
හා අපක්ෂපාතිව හා මහජන යහපත පිළිබඳ නිසි සැලකිල්ලෙන් යුතුව ඉදිරිපත් කරනු ලබන බව.



ටෙලි නාට්‍යයේ සීමා: 

1.   ටෙලි නාට්‍ය ශ‍්‍රී ලංකා ප‍්‍රජාතාන්ත‍්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට රටේ බලපවත්නා නීති හ රෙගුලාසිවලට අනුකූල විය යුතු වීම.
2.   ජනවාර්ගික යහපැවැත්මට හා රටේ සංස්කෘතික බහුවිධතාවට හානිකර ආකාරයේ ඒවා නොවිය යුතු වීම.
3.    ත‍්‍රස්තවාදය, මිනිමැරුම්, අපරාධ, ස්ත‍්‍රීත්වය අවමානයට ලක් කිරීම, බාලාපචාරයන්ට මං පාදන හෝ වක‍්‍ර ආකාරයකින් හෝ අනුබල දෙන දර්ශන ඇතුලත් නොවිය යුතු වීම. සියදිවි නසාගැනීම් ආදියට අනුබල දෙන හා එම උපක‍්‍රම හුවා දක්වන දර්ශන ඇතුලත් නොවීම.
4.    ළමා පෞරුෂය, කුසලතා වර්ධනය කෙරෙන ටෙලි නාට්‍ය නිර්මාණ බලාපොරොත්තු වන අතර, ළමා මනසට අහිතකර ලෙස බලපෑ හැකි දර්ශන මෙන් ම අහිතකර දෙයට පොළඹවන දර්ශන හා ව්‍යවහාර ඇතුලත් නොවිය යුතු ය.
5.   සුරාපානය, මත්ද්‍රව්‍ය භාවිතය, දුම්පානය ආදියට අනුබල දෙන දර්ශන, අවස්ථා හෝ ප‍්‍රකාශවලින් වැලකීම මෙන් ම සුරාපානය, දුම්පානය වැනි ක‍්‍රියාවන් වීරත්වය හෝ තාරුණ්‍ය පිළිඹිමු කරන ක‍්‍රියා ලෙස දැක්වීමෙන් වැලකී සිටිය යුතු ය.
6.    ලිංගිකත්වය හා ලිංගික සබදතා සාකච්ඡුාවට භාජනය කිරීමේ දී ශිෂ්ඨත්වය පිළිබඳ සීමාවන් උල්ලංඝනය නොකිරීම.
7.    දෙමාපියන්ට, වැඩිහිටියන්ට ගරු කිරීම, විනයානුකූලව හැසිරීම වැනි සමාජ සාරධර්ම ආරක්ෂා විය යුතු වීම. එම සමාජ සාරධර්මයන්ට අනුබල දීම.
8.    ශාරීරික, මානසික දුබලතාවලින් පෙළෙන්නන් හාස්‍යයට හා චිත්ත පීඩාවට පත්කරන දර්ශන ඇතුලත් නොකිරීම.
9.  ප්‍රෙක්ෂකයා කම්පනයට පත්කරවන මානව හා සත්ත්ව පීඩා, ලේ ගැලීම්, කෲරත්වය, හිංසනය හුවා දක්වන දර්ශන අඩංඟු නොවිය යුතු වීම.
10.    යම් කිසි ආගමක්, පුජ්‍ය පක්ෂයක්, උපහාසයට, අවමානයට ලක් නොකිරීමට වගබලා ගත යුතු වීම. මත භේදයට තුඩු දෙන අවස්ථා වෙතොත් ආගමික මණ්ඩල නිර්දේශ ලබා ගත යුතු වීම.
11.    අවස්ථා හා චරිතවලට යෝග්‍ය පරිදි උප භාෂා භාවිතා කළ හැකි වුව ද, අසත්‍ය අශිෂ්ට භාෂා ව්‍යවහාරයෙන් වැලකීම.
12.    පරිසරය සුරැුකීම, පරිසර සංරක්ෂණය, වන ජීවීන් රැුකගැනීම කෙරෙහි අවධානය යොමු කිරීම පරිසර ¥ෂණයට, විනාශයට අනුබල දෙන දර්ශන අඩංගු නොකිරීම.
13.    නරඹන්නා තුළ අනිසි බිය, අනිසි සංත‍්‍රාසය උපදවන හෝ හිංසනයට අනුබල දෙන දර්ශන අඩංගු නොකිරීම.
14.    රට තුළ සහ විදේශ රටවල් සමඟ පවත්නා මිත‍්‍රත‍්‍රත්ව සබදතාවලට හානිකර දර්ශන අඩංගු නොකිරීම.
15.    මුදල් ඉපයීමේ පරමාර්ථය පමණක් පෙරදැරි නොකොට ප්‍රෙක්ෂකයා ආනන්දයෙන් ප‍්‍රඥාව කරා ගෙන යාම මුඛ්‍ය අපේක්ෂාව ලෙස සැලකිය යුතු වීම.

ටෙලිනාට්‍ය රචනයක් ඇඟයීමේ දී සැලකිල්ලට භාජනය කෙරෙන මූලික කරුණු: 

1 .   කලාත්මක වින්දනයක් ලැබිය හැකි නිර්මාණයක් බවට නිෂ්පාදනය කිරීමට ඇති හැකියාව
2 .   පිටපත තුළින් මතුවන සංකල්පයේ ඇති නැවුම් බව සහ අපූර්ත්වය
3 .   නිර්මාණයේ අන්තර්ගතය තුළින් මතු වන්නා වූ කාලීන වැදගත්කම
4 .   පිටපත තුළින් ප‍්‍රකාශ වන චරිත මිනිස් දහමෙහි ගැඹුරු විවරණයක් වීම.
5 .   පිටපත තුළින් බිහිවිය හැකි නිර්මාණය පේ‍්‍රක්ෂකයාගේ බුද්ධි වර්ධනයට කොතරම් දුරට ඉවහල් විය හැකි ද යන්න උදා - සමාජීය, අධ්‍යාපනික, ඓතිහාසික, දේශපාලනික
6  .  විවිධ ප්‍රෙක්ෂක ජනකොටස්වලට ආගමික, සමාජීය, සංස්කෘතික, දේශපාලනමය හා සදාචාරාත්මක ආදි වශයෙන් ඇති කළ හැකි බලපෑම.
7 .  පිටපතේ අන්තර්ගතය විවිධ වයස් කාණ්ඩයන්ගෙන් යුතු පේ‍්‍රක්ෂකයන් කෙරෙහි සිදු කළ හැකි බලපෑම. 
8 . ස්වතන්ත‍්‍ර, දේශීය හෝ විදේශිය ශිෂ්ඨ සාහිත්‍ය කෘති ඇසුරින් රචිත පිටපතක් ද යන්න.

                                  ටෙලිනාට්‍ය පිටපත් රචකයා තම නාට්‍යයෙන් ප‍්‍රක්ෂේපණය කිරීමට බලාපොරොත්තු වන අරමුණ කුමක් ද? යන්න පිටපතෙහි ධ්වනිත විය යුතු වෙයි. තමන් ඉලක්ක කර ගන්නා පේ‍්‍රක්ෂක පිරිස පිළිබඳ අවබෝධයක් රචකයා තුළ තිබිය යුතු වේ. එමෙන් ම හරවත් පණිවිඩයක් ද පේ‍්‍රක්ෂකයන්ට ඉදිරිපත් විය යුතු වන අතර රූපවාහිනී ශ‍්‍රව්‍ය-දෘශ්‍ය මාධ්‍යයට ගැලපෙන කථා සංකල්පයක් ගොඩනැගිය යුතු ය. සංස්කෘතිකමය, සදාචාරාත්මක වගකීම, රටේ නීතිය සහ සම්මතයන්ට එකඟ වීම, මෙන්ම කිසියම් ආගමකට, පුද්ගලයෙකුට, පුජ්‍ය පක්ෂයට හානිකර අයුරින් චරිත නිරූපණය නොකළ යුතු ය. ග‍්‍රාම්‍ය, පහත් බස්වහර යොදා ගැනීමෙන් වැලකිය යුතු ය. ළමා මනසට අහිතකර බලපෑම් කරනු ලබන සිදුවීම් බැහැර කළ යුතු ය. පේ‍්‍රක්ෂකයන් අතර අනවශ්‍ය මතභේද, බිය සැක, කලබලකාරී අවස්ථා ජනනය කරන සිදුවීම් පිටපත්වලට ඇතුළත් කිරීමෙන් වැලකිය යුතු ය.
                                                 රූපවාහිනි ටෙලිනාට්‍ය නිර්මාණකරුවාට මෙවැනි සීමාවන් හඳුන්වා දීම තුළින් රූපවාහිනී පේ‍්‍රක්ෂකයන්ට සංකීර්ණ වු හෝ සරල වූ හෝ ආස්වාදයක් ලබා දීමට සමත් විවිධ මට්ටම්වල කලාත්මක නිෂ්පාදන බිහි කිරීමට අනුබල දෙන අතර ම, බහුතර ප්‍රෙක්ෂකයාට ඇති සමාජ වගකීම ඉටු කිරීමට අවශ්‍ය පසුබිම සකස් කර දීමට ආධාර වන්නා වූ නිර්ණායක ලෙස ද සැලකේ.
                                                                                                     කලාකරුවාගේ නිදහසට හෝ නිර්මාණාත්මක ක‍්‍රියාකාරීත්වයට අනර්ථකාරී ලෙස බලපාන්නා වූ සීමා පැනවීමට හෝ ටෙලිනාට්‍යවල විෂයය තීරණය කිරීමට හෝ මෙම සීමාවන් අදාල නොවේ. එහෙත් යහපත් ටෙලිනාට්‍ය කලාවක් අනාගතයේ දී ගොඩනැගීම සඳහා මෙම කරුණු පිටුවහලක් වනු නොඅනුමාන ය.

 විමලරත්න අධිකාරී